ගෑස් හිගය හේතුවෙන් දර වෙලදුන් රක්‍ෂිත වනසයි.

කිලිනොච්චියේ ස්ථාන දෙකකදී නීතිවිරෝධීව බලපත්‍ර නොමැතිව රක්ෂිතයෙන් කපාගත් දර පැටවූ වාහන 08 ක් සමගින් සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

කිලිනොච්චිය අලිමංකඩ සහ පුනකරි ප්‍රදේශයන්හි නීතිවිරෝධීව දර ප්‍රවාහනයක් සිදුවන බවට කිලිනොච්චිය පොලිස් දූෂණ මර්ධන අංශයට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් සිදුකරන ලද සෝදිසි වැටලීමකදී අදාල දර පටවාගත් වාහන අත්අඩංගුවට ගැනීම සිදුවිය.

එහිදී අලිමංකඩ ප්‍රදේශයේදී වාහන 06 ක් සහ එහි රියදුරන් 06 දෙනෙකුද පූනකරී සංගුපිඩ්ඩි ප්‍රදේශයේදී වාහන දෙකක් සමගින් පුද්ගලයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීම සිදුවීය.

එහිදී සැකකරුවන් විසින් කිලිනොච්චියේ රක්ෂිත වනාන්තර වලින් නීතිවිරෝධීව ගස් කපා දර බවට පත්කොට එම දර ඉතා අධික මිලගණන් යටතේ සාමාන්‍ය ජනතාවට විකිනීමට සැලසුම් කොට ඇතැයි අනාවරනය වී ඇත.

මේ දිනවල කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පවතින ගෑස් හිගය හේතුවෙන් දර සඳහා වැඩි ඉල්ලුමක් පවතින බැවින් බොහෝ පිරිස් දර විකිණීමට පෙළඹී ඇති බවටත් රක්ෂිත වලින්ද ගස්කපා මෙලෙස දර බවට පත්කිරීමේ ජාවාරම් පිළිබඳව තොරතුරු අනාවරනය වී ඇතැයිද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 ත් 50 ත් අතර වයස්හි පසුවන අතර ඔවුන් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *