ගාලුමුවදොර පිටියට සිදුවූ අලාභහානිවලට වන්දි ගෙවීමට විරෝධතාකරුවන්ට සිදුවන බව අමාත්‍ය ප්‍රසන්න පවසයි.

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් ගාලුමුවදොර පිටියට සිදුවූ අලාභහානිවල පිරිවැය විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

උද්ඝෝෂණ භූමිය සම්බන්ධයෙන් තමන්ට අයිතියක් ඇති බව පවසමින් පිරිසක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ඔවුන්ගෙන් සිදුවූ අලාභහානිවලට වන්දි ලබාගැනීමට පියවර ගන්නා බව ද කියා සිටියේය.

නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අයත් එම ස්ථානයෙන් විරෝධතාකරුවන් ඉවත් කිරීමට නීතිමය පියවර ගත් බව අමාත්‍ය රණතුංග මහතා පැවසීය.

රජයට අයත් කිසිදු දේපළක් බලහත්කාරයෙන් පාලනය කිරීමට කිසිඳු පුද්ගලයෙකුට නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.

ගාලුමුවදොර පිටියට සිදුව ඇති අලාභහානි සම්බන්ධයෙන් ඇස්තමේන්තුවක් සිදුකරන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විටත් තමන් දැනුවත් කර ඇති බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *