කොළඹ නගරය පුරා හෙරොයින් බෙදූ මත්ද්‍රව්‍ය ගබඩාවක් සොයා ගැනේ

බොරැල්ල සිරිසඳ උයන නිවාස සංකීර්ණයේ නිවසක සඟවා තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සොයාගෙන ඇත. කාන්තාවක් විසින් පවත්වාගෙන ගොස් ඇති මෙම මත්ද්‍රව්‍ය ගබඩාවෙන් කොළඹ නගරය පුරාම හෙරොයින් බෙදාහැරීමේ කටයුතු සිදු කර තිබේ.

කොරෝනා ව්‍යාප්තියත් සමගම මාස තුනකට වැඩි කාලයක් මෙම නිවාස සංකීර්ණය හුදකලා කර තිබූ අතර සැකකාර කාන්තාව විසින් එම කාලසීමාව තුලදිද කොළඹ නගරය පුරා හෙරොයින් බෙදාහැර ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇත.

අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා මහතාට ලැබුණු ඔත්තුවකට අනුවය. සිරිසඳ උයන නිවාස සංකීර්ණය පහත මාලයේදී සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව හෙරොයින් ග‍්‍රෑම් 30 ක් තිබී ඇත.

අනතුරුව සැකකාරියගෙන් ලැබුණු තොරතුරු මත මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හා තොරතුරු රැසක් හෙළිවී තිබේ. ඒ අනුව සිරිසඳ උයන නිවාස සංකීර්ණයේ එක් නිවසක අල්මාරියක සඟවා තිබූ රුපියල් එක්කෝටි හැටලක්‍ෂයක් පමණ වටිනා හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 1 ග‍්‍රෑම් 680 ක් සොයාගෙන ඇති අතර එහි තිබී රුපියල් හය ලක්‍ෂයක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකාරිය මෙම ජාවාරම, සිදුකරන්නේ සිය නැගණිය විවාහ වී ඇති ‘වනාතේ කුමාර’ නමැති ඇගේ මස්සිනා සමඟ බවත්, නැගණියද හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී වසර 3 ක කාලයක් බන්ධනාගාරගතව සිටින බවත් තොරතුරු වාර්තා වී තිබේ.

බ්ලූමැන්ඩල් සම්පත් නමැති මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකුගෙන් තමන්ට මෙම හෙරොයින් තොග ලැබෙන බවත් සැකකාරිය ප‍්‍රශ්න කිරීම් වලදී හෙළිදරව් කර තිබේ.

ජාවාරමට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අත්අඩංගුවට ගත් හෙරොයින් සහ සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *