කිසිදු අවස්ථාවක විදුලි කප්පාදුවක් කරන්නේ නෑ – රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද

කිසිදු අවස්ථාවක විදුලිය කප්පාදු නොකරන බව විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (05) එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.

පසුගිය පෙබරවාරි මස 03 වන දින ඇතැම් ප්‍රදේශ වල සිදුවූ හදිසි විදුලි කප්පාදුව නීති විරෝධි කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පරීක්ෂණයක් විශේෂ කමිටුවක් මගින් පවත්වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්ධන නොමැති බව පවසමින් මෙසේ හදිසි විදුලි කප්පාදුවක් සිදු කලද එදින කැරවලපිටිය විදුලි බලාගාරයේ තෙල් ටොන් 1500ක් තිබී ඇති බවත් මෙසේ ඉන්ධන තිබියදී අමාත්‍යංශයේ අවසරයකින් හෝ තොරව විදුලිය කප්පාදු කිරීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණයක් පවත්වන බවද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

විදිලිබල මණ්ඩලය සහ ඛනිජතෙල් සංස්ථාව යන ආයතන දෙක වෙනම ආයතන වශයෙන් පවතිද්දී පවා මුදල් ගෙවීමකින් තොරව වුවද අඛණ්ඩව විදුලිය සැපයූ බවත් දැන් එම ආයතන දෙකම එකම අමාත්‍යංශයක් යටතේ පවතිද්දී කිසි සේත්ම විදුලිය කප්පාදු කල නොහැකි බවද අමාත්‍යවරයා පැවසීය.

පසුගිය රජය සමයේ 2018 වසරේ සිට 2019 වසර දක්වා විදුලිබල මණ්ඩලය බැංකු සහ පෞද්ගලික විදුලිබලාගාර වලින් ගත් ණය මුදල් කිසිවක් ගෙවා නැති බවත් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල්ද විදුලි මණ්ඩලය විසින් ගෙවා නැත.

එහෙත් ඉදිරියේදී සියලුම ණය වාරික නිසි පරිදි ගෙවන බවත් පසුගිය රජය විසින් වෙනත් ව්‍යාපෘතින් සඳහා අත්තනෝමතික ලෙස මුදල් භාවතා කළ බැවින් විදුලිබල මණ්ඩලය මෙවැනි අර්බුදයකට ලක්ව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *