කළුතර ගමක 85කට කොවිඩ්

පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ, මල්වර උත්සවයක් සඳහා සහභාගී වු පුද්ගලයින්ට හා එහි ආශ්‍රිතයින් 85දෙනෙක් ට කොවිඩ් ආසාදනය වී තිබේ.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නිවසක පැවැත්වීමට සුදානම් කර තිබු මල්වර උත්සවයක් පසුගිය 24 වන දා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මැදිහත්ව නවතා දමා ඇත.

මල්වර උත්සවය පැවැත්වීමට සුදානම් කර තිබුණ දින එයට උදව්වීම සඳහා පුද්ගලයින් 35දෙනෙක් පමණ එම නිවසට පැමිණ තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අදාළ උත්සවය නවතා දැමීම හේතුවෙන් පිසින ලද ආහාර සියල්ල නිවැසියා විසින් උත්සවයට ආරාධනා කරන ලද නිවෙස්වලට පාර්සල් කර ගෙන ගොස් දී ඇත.

ජූලි 26 වන දා එම නිවසේ ආහාර සැකසීමට පැමිණි පුද්ගලයෙකුට ඇති වු රෝගී තත්ත්වයක් මත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකිරීමේ දී ඔහු ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

පසුව ඉදිරි දින කිහිපය තුළ තවත් පුද්ගලයින් 23දෙනෙකුට ම කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

ඉන්පසුව ආශ්‍රිතයින් 212දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ ගොරකදෙණිය ලංකාරාම විහාරස්ථානයේ දී ඊයේ සිදුකර තිබේ.

එයින් පුද්ගලයින් 62ක් ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති අතර ආසාදිතයින් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිතය.

ප්‍රදේශයේ පවුල් 40කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට නිරෝධායනට ලක්කර තිබේ.

කෙසේ වෙතත් ආහාර පිසීම සඳහා ගොස් ඇති පුද්ගලයා කොවිඩ් ආසාදිතව සිටිය දී එම කටයුත්ත සිදුකිරීම පිළිබඳව කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු මහතා අදාළ පුද්ගලයාට දැඩි ලෙස අවවාද කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *