රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව සියලුදෙනා තමන් වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ආණ්ඩුව,ආගමික සංස්ථාව, ආරක්ෂක හමුදාවන් ලෙස පැවරී ඇති වගකීම් නිසි පරිදි ඉටු කිරීමෙන් ඉතා ඉක්මනින්මාතෘ භූමිය යළි ප්‍රතිනිර්මාණය කරගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් එක්ව වැඩ කරමු යැයි සියලු දෙනාට ආරාධනා කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාළියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
රට ඉතා විශිෂ්ට උරුමයකට සහ ජයග්‍රහණ වලට හිමිකම් කියූවද පසුගිය දශක කිහිපයේ රට සියලු ආකාරයේ බිඳ වැටීමවලට ලක්වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා සියලුදෙනා වෙත පැවරී ඇති වගකීම වන්නේ මාතෘ භූමිය ලෝකයේ උසස් වටිනාකම් සහ ඇගයීම් වලට ලක්වන රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම බවද පැවසීය.
දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ 100 වන විසිර යාමේ පෙළපාළිය මෙය වන අතර නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 93, 94බී කෙටි කාලීන පාඨමාලා අංක 23 නිත්‍ය පාඨාමාලා අංක 62 සහ ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරිනි පාඨාමාලා අංක 19 යන පාඨමාලාවන්ට අයත් කෙඩෙට් නිලධාරීන්,නිලධාරිනියන් 240 දෙනකු සාර්ථක යුද හමුදා පුහුණුවකින් පසු අධිකාරි ලබා යුද හමුදා සේවයට එක් වීම මෙහිදී සිදු කෙරිණි. මේ අතරින් විදෙස් රටවල කෙඩෙට් නිලධාරි නිලධාරිනියන් 08 දෙනෙක්ද පුහුණුව ලබා විසිර යාමද විශේෂත්වයකි.


