‘එක රටක් එක නීතියක්’ඥානසාර හිමිගේ සභාපතිත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක්

ශ්‍රී ලංකාව තුළ ‘එක රටක් එක නීතියක්‘ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර, ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාමාජිකයන් 13 දෙනකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බළකායක් පෙරේදා (26) පත් කළේය.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතීත්වයෙන් යුත් ‘එක රටක් එක නීතියක්‘ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය අතිවිශේෂ ගැසට් පත්‍රියක් මඟින් පෙරේදා බලාත්මක කෙරිණි.

එහි ලේකම්වරයා ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත් කර ඇති අතර, මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහාචාර්ය සුමේධ සිරිවර්ධන, එන්. ජී. සුජිත් පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානී වෑවල, මවුලවි මොහොමඩ්, කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්, කලීල් රහුමාන් සහ අසීස් නිසාර් සෙසු සාමාජිකයෝ වෙති.

කමිටුව විසින් මසකට වරක් ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර, මෙහි අවසන් වාර්තාව ලබන වසරේ පෙබරවාරි 28 දා හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *