උතුරේ දේශපාලනඥයන් කරන්නේ ඉන්දියාවේ න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමයි – අරුන් සිද්ධාර්ථන්

තම පැවැත්ම වෙනුවෙන් උතුරේ දේශපාලනඥයන් සෑම විටම සිදු කරනු ලැබුවේ ඉන්දියාවේ න්‍යාය පත‍්‍රවලට අනුව කටයුතු කිරීම බවත් ඔවුන් ජනතාව වෙනුවෙන් දෙයක් සිදු නොකරන බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා සඳහන් කළේය. ඔහු මේ බව පවසා ඇත්තේ පෙරේදා (04) සවස අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රය මගින් සංවිධානය කරන ලද දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා වූ සාම පාගමන පෙරේදා සවස අනුරාධපුරයට ළඟා වූ අතර එම සාමාජිකයන් රුවන්වැලි මහාසෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.

අරුන් සිද්ධාර්ථන් මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් තවදුරටත් මෙසේ පවසා සිටියේය.

‘‘එළාර රජුගේ සොහොන තනවා තම විරුද්ධවාදියාට ගෞරව දැක්වීමට දුටුගැමුණු රජතුමා කටයුතු කළා මෙන් එල්ටීටීඊ ත‍්‍රස්තවාදී සමයේ ජීවිතක්ෂයට පත් උතුරු නැගෙනහිර අහිංසක ජනතාවට ගෞරව දැක්වීම සඳහා රජයේ මැදිහත් වීමෙන් ස්මාරක තනාදීමට කටයුතු කරන්නැයි මම ඉල්ලා සිටිනවා. ඒ වගේම යාපනය කේන්ද්‍ර කර ගනිමින් මෙවර ජාතික වෙසක් උත්සවය පැවැත්වීම රජය පියවර ගෙන තියෙනවා. ඊට පූර්ණ සහාය තම සංවිධානය ලබාදෙනවා. මේ වන විට යාපනය ප‍්‍රදේශය ඉතා සුරක්ෂිත නිසා එම අසිරිමත් දිනය සැමරීමට බෞද්ධ ජනතාව ඇතුළු සියලූම දෙනාද ඊට එක්වන ලෙසට මම ඉල්ලා සිටිනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *