ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් 2කට අධි චෝදනා

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති “ලෙජන්ට් ට්‍රොපි 2024” ක්‍රිකට්  තරගාවලියේදී මුදලට තරග පාවා දීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිට,එංගලන්ත හා නවසීලන්ත ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය  ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව නීතිපතිවරයා  කොළඹ  මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

මුදලට තරග පාවා දීමේ සිද්ධියට සම්බන්ධව අධිකරණය මගින් පනවා ඇති රටින් පිටවීමේ තහනම ඉවත් කරවා ගැනීමට සැකකාර  ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් ගොනු කළ විශේෂ මෝෂමට විරෝධය පළ කරමින් කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මහතා නීතිපතිවරයා වෙනුවෙන් එසේ පැවසීය.

මෙම නඩු දෙක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ  කැඳවූ අතර සැකකාර කළමනාකරුවන්ට රටින් පිටවීම වළක්වමින් නිකුත් කර තිබූ  තහනම් නියෝග ඉවත් කරන්නැයි  කළ ඉල්ලීම් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මුදලට තරග පාවා දීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග වරුසවිතාන ක්‍රීඩකයාට බලපෑම් කළ  ඉන්දියාවේ  කෑන්ඩි  සෑම් ආමි කණ්ඩායමේ ප්‍රධාන මූල්‍ය විධායක කළමනාකාර යෝගී පටෙල්ට පසුගිය 16 වැනි දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ බවය.

2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ මෙම අධි චෝදනා නඩුව ගොනුකර ඇති බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *