ඇෆ්ගනිස්තානයේ නාගරික ප්‍රදේශ අත්පත් කර ගනිමින් තලේබාන් වරු මාරාන්තික සටනක



ඇෆ්ගනිස්තානයේ ග්‍රාමීය ප්‍රදේශ රැසක බලය තහවුරැ කරගෙන සිටින තලේබාන් සංවිධානය නාගරික ප්‍රදේශවල බලය තහවුරැ කරගැනීම සදහා සටන් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බීබීසී ලෝක සේවය සදහන් කළේ, කන්දහාර් ,ලක්ෂාර්ගා සහ හෙරට් යන නගරවල බලය සදහා දරැණු සටන් පවතින බවයි.

ඇෆ්ගනිස්තාන ආරක්ෂක හමුදාවන්ද දරැණු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලදී තලේබාන් සංවිධානයට පසුබැසීමට සිදුව ඇති බවත් එරට වාර්තා සදහන් කළා.

මේ අතර තලේබාන් සංවිධානය විසින් අල්ලාගත් ප්‍රදේශවල දරැණු ලෙස මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවන බව ඇෆ්ගනිස්තාන මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කර තිබෙනවා.

අල්ලාගත් ප්‍රදේශ ආශ්‍රිතව ඔවුන් පුද්ගලයන් සිය ගණනකට  මරණ දඩුවම ලබාදී ඇති බවත් ඒ පිරිස අතර ආගමික ශ්‍රාස්තඥයන් , වැඩිහිටි ජන නායකයන්, සිවිල් ක්‍රියාකාරිකයන් ,රජයේ සේවකයන්,මාධ්‍යවේදීන්, මානව හිමිකම් ආරක්ෂකයන් වැනි පිරිස් වන බව සදහන්.

තලේබාන් සංවිධානය විසින් අල්ලාගත් බල්ක් ඇතුළු උතුරැ දිග පළාත්වල විවිධ සීමා රැසක් පනවා ඇතැයි ද එරට මානව හිමිකම් කොමිසම සදහන් කරනවා.

ඒ අනුව දැරියන්ට උසස් අධ්‍යාපනය තහනම් කර ඇති අතර උසස් කාන්තා පාසල්වලින් පිරිම් ගුරැවරැ ඉවත් කර ඇති බව සදහන්.

ඉංග්‍රීසි සහ පරිගණක යන විෂයන් පාසල් විෂය මාලාවෙන් ඉවත් කර ඒ වෙනුවෙට ෂරියා නීතිය සහ හදිත් යන ඉස්ලාමයට සම්බන්ධ විෂයන් අනිවාර්ය කර තිබෙනවා.

කාන්තාවන්ට ,පාසල් සිසුවියන්ට බුර්කාව අනිවාර්යය කර ඇති අතර ඔවුන්ට තනිව නිවාසවලින් බැහැරයාමද තහනම් කර ඇති බව සදහන්.

මෙි අතර තමන් සාමකාමී  විසදුමකට සූදානම් බව තලේබාන් සංවිධානය ප්‍රකාශ කර ඇතත්, එය උපක්‍රමයක් පමණක් බවටයි ඇෆ්ගනිස්තාන රජය පවසන්නේ.

ඇෆ්ගනිස්තානයේ රජය ප්‍රකාශ කරන්නේ තලේබාන්වරැන් සැබෑ සාමකාමී විසදුමකට සූදානම් නම් තමන් ද ඒ සදහා කැපවන බවයි.

මෙි අතර එරට සිටින අවසන් ඇමරිකානු සහ නේටෝ හමුදා කණ්ඩායම් තවත් දින කිහිපයකදී සම්පූර්ණයෙන්ම ඉවත්ව යාමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *