ආහාර අර්බුදයේ වගකීම ජනපති භාරගත යුතුයි ටිල්වින් පවසයි

පවතින ආර්ථික අර්බුදය සහ ආහාර හිඟය ආණ්ඩුවේ අඥාන තීරණ නිසා ඇති වූවක් බවත්, ආහාර හිඟයේ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා දැරිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) අද ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ මෙය ස්වභාවික අර්බුදයක් බව පෙන්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උත්සාහ කළත් මෙම අර්බුදය නිර්මාණය කළේ ඔහු විසින් බවයි.

“මෙය ස්වභාවික අර්බුදයක් නොවේ.මෙය ඇතිවී තිබෙන්නේ ආණ්ඩුවේ අඥාන ක්‍රියාකලාපය නිසා.ආහාර හිඟය ජනතාවට තර්ජනයක්.එළවළු මිල අහස උසට නගිනවා.සහල් හිඟයක් තිබෙනවා.සහල් පිටරටින් ගෙන්වීමට සිදුවුණා.එහෙත් රට බරපතළ ඩොලර් අර්බුදයකට මුහුණදී තිබෙනවා. අර්බුදය මේ සියල්ල ස්වභාවික හේතූන් නිසාද?නෑ මේක ජනාධිපතිතුමා විසින් ඇතිකළ මිනිසා විසින් නිර්මාණය කරන ලද අර්බුදයක්.කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඉන් මිදීමෙන් ඔබ්බට ගොස් තිබුණා.තවමත් රජය තම වැරදි නිවැරදි කර ගැනීමට සූදානම් නැහැ. නිලධාරීන් ඉවත් කරමින් ආණ්ඩුව මේක යටපත් කරන්න හදනවා.මේ ආහාර අර්බුදයේ සම්පූර්ණ වගකීම ජනාධිපතිතුමා භාරගත යුතුයි.

ආණ්ඩුවේ බදු ප‍්‍රතිපත්තියෙන් සිදුවී ඇත්තේ එහි කූට ව්‍යාපාරිකයන්ට පමණක් බවත් එය රජයට ආදායම් ලබා ගැනීමට ඉවහල් වන බදු ප‍්‍රතිපත්තියක් නොවන බවත් ඔහු පැවසීය.

“වැට් බද්ද අඩු කළා. ඒත් ඒකේ වාසිය උන්ගේ තක්කඩි ව්‍යාපාරිකයන්ට දුන්නා. මිනිස්සුන්ට සෙතක් වුණේ නැහැ. සීනි පොල්තෙල්වලට බද්ද අඩු කළා, ඒකේ වාසියත් ගියේ ජනතාවට නෙවෙයි උන්ගේ ගජමිතුරන්ට” ඔහු දැඩි ලෙස බැණ වැදුණේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *