ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 12,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනයේ වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින් 102 දෙනා ද සමග රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් දෙවන රැල්ල ආරම්භයේ සිට මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 12,080ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

රත්නපුර දිස්ත්‍රික්කය ද ඇතුළුව දිස්ත්‍රික්ක 5 කින් ඊයේ දිනයේ දී දෛනික ආසාදිතයින් 100 ඉක්මවූ සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

ඉන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 252කි.

මීට අමතරව ගම්පහ 232ක්, කළුතර 153ක්, බදුල්ල 140ක්, මහනුවර 94 ක්, ගාල්ල 83ක්, අම්පාර 69ක් වශයෙන් ද ආසාදිතයින් වාර්තා වී තිබේ.

කෙසේවෙතත් මීට දින කිහිපයකට පෙර වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ මන්නාරම දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොතිබීම ද විශේෂත්වයකි.

ඒ අනුව කොවිඩ් ආසාදිතයින් 1,517 දෙනෙකු ඊයේ  මෙරටින් හඳුනාගෙන තිබුණි.

ඉන් 1,446 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් වන අතර විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින 37 දෙනෙකු ද අයත්ය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 282,060 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

එම අසාදිතයින්ගෙන් 254,871 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් රෝගීන් 23,520 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.

මේ අතර ගතවූ දින දෙක තුළ පමණක් සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 91කි.

ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,701 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් -19 පැතිර වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර ඇති එන්නත්කරණ වැඩසටහනට අනුව ඊයේ දිනයේ දී මෙරට පුද්ගලයින් 245,000කට ආසන්න සංඛ්‍යාවකට එන්නත්කරණ කටයුතු සිදුකර තිබේ.

එහිදී සයිනොෆාම් පළමු මාත්‍රාව හා දෙවන මාත්‍රාව මෙන්ම ෆයිසර් එන්නත ද ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට පුද්ගලයින් 244,706 දෙනෙකුට ඊයේ දිනයේ එන්නත්කරණය සිදුකර ඇති අතර ඉන් පුද්ගලයින් 221,753 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබේ.

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 16,336 දෙනෙකුටත් ෆයිසර් එන්නත පුද්ගලයින් 6,617 දෙනෙකුටත් ලබා දී ඇත.

මේ දක්වා සයිනොෆාම් එන්නත පුද්ගලයින් 5,522,362කුටත්, කොවිෂීල්ඩ් එන්නත 1,311,127 දෙනෙකුටත්, ස්පුට්නික් V  එන්නත 171,832කුටත්, ෆයිසර් එන්නත 45,793 දෙනෙකුටත් ලබා දී තිබේ.

ඒ අනුව මෙරට තුළ එන්නත්කරණය සිදුකර ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 7,051,114ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ අතර නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුළ පුද්ගයින් 207 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මේ දක්වා කාලය තුළ එම රීති උල්ලන්ඝයන කිරීම හේතුවෙන් පුද්ගලයින් 50,391 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මේ වනවිට කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් පොලිස් නිලධාරීන් 14 දෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *