ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමඟ නතර කර තිබූ සෙත්සිරිපාය කාර්යාල සංකීර්ණයේ තුන්වැනි අදියරේ ඉදිකිරීම් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ යළි ආරම්භ කර තිබේ.
එහි ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ උත්සවය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සහභාගීත්වයෙන් 28 පැවැත්විණි.
2019 වසරේදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය අර්බුද කිහිපයක් හේතුවෙන් අතරමඟ නතර කර තිබූ අතර, මේ වන විට එහි ඉදිකිරීම් යළි ක්‍රියාත්මක කර තිබේ.
සෙත්සිරිපාය තුන්වැනි අදියර මහල් 25කින් සමන්විත වන අතර, එහි සමස්ත වර්ග අඩි ප්‍රමාණය 1,395,439කි.
රුපියල් බිලියන 33.02ක පමණ ඇස්තමේන්තුගත වියදමකින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය, විදුලිබල අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමඟ එක්ව ක්‍රියාත්මක කෙරේ.
නවීන කාර්යාල පහසුකම්, සම්මන්ත්රණ ශාලා, මහජන සේවා මධ්‍යස්ථාන, වාණිජ අවකාශ සහ රථගාල් පහසුකම්වලින් සමන්විත මෙම සංකීර්ණය රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවා සැපයීම වඩාත් කාර්යක්ෂම කිරීමට සැලසුම් කර තිබේ.
මාස 30ක් ඇතුළත ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් කිරීමට බලධාරීන් සැලසුම් කර ඇති අතර, පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, රාජ්‍ය සේවය නවීකරණය කිරීම සහ ජාතික ආර්ථික වර්ධනයට දායක වීම කෙරෙහි එහිදී විශේෂ අවධානය යොමු කෙරේ.
කොළඹ කොටුව සහ නගරයේ අනෙකුත් ප්‍රදේශවල පිහිටි රාජ්‍ය කාර්යාල බත්තරමුල්ල වෙත ගෙන ඒමේ රජයේ වැඩසටහනේ කොටසක් ලෙසද මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
පරිපාලන සේවා ක්‍රමයෙන් බත්තරමුල්ලේ ශ්‍රී ජයවර්ධනපුර කලාපය වෙත ගෙන යාමේ වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය ආයතන රැසක් මේ වන විටත් එම ප්‍රදේශයට ස්ථානගත කර තිබේ.
කොළඹ නගරය වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් මෙම කාර්යාල ස්ථාන මාරු කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් වේ.


