ආන්දෝලනාත්මක ලයිකා සමූහ ව්‍යාපාරයේ හිමිකරු සුබාස්කරන් ශ්‍රී ලංකාවට

ලයිකා සමූහ ව්‍යාපාරයේ හිමිකරු වන ආන්දෝලනාත්මක බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා ධන කුවේරයෙකු වන අල්ලිරාජා සුබාස්කරන් ඊයේ ශ්‍රී ලංකාවට පැමිණියා.

චැනල් අයි සමාගම කෙටි කාලීන ගිවිසුමක් මත ලයිකා මොබයිල් සමූහයට බදු දී ඇති බවට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පසුගිය සතියේ කළ ප්‍රකාශයෙන් පසුව ඔහුගේ පැමිණීම සිදු විය.

එක්සත් රාජධානිය පදනම් කරගත් Lyca සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපතිවරයා වන සුබාස්කරන්, දකුණු ආසියානු කලාපයේ, විශේෂයෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තුළ සමූහයේ ව්‍යාපාර පුළුල් කරමින් සිටී. 2021 දී ඔහු ලංකා ප්‍රිමියර් ලීගයේ යාපනය කණ්ඩායම අත්පත් කර ගත් අතර එතැන් සිට ලීගයේ බලගතු කොටස්කරුවෙකු විය.

ලයිකා මොබයිල් සමූහ ව්‍යාපාරයට කෙටිකාලීන ගිවිසුමක් මත චැනල් අයි බදු දුන් බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මීට පෙර ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කර ඇති බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමිනි. මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති චැනල් අයි ආයතනය බදු දීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේ විෂය භාර අමාත්‍යවරයා ලෙස තමාගේ අනුමැතිය ඇතිව බව අමාත්‍ය මණ්ඩල හමුවේදී ඔහු පැවසීය.

ක්‍රීඩා ඉසව් විකාශනය කිරීම සඳහා ලයිකා මොබයිල් සමූහයට බදු දී ඇත්තේ නාලිකාවේ විකාශන කාලය පමණක් බවත්, මාසිකව රුපියල් මිලියන 25 ක මුදලක් ගෙවා ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *