සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් සහ සමාන අවස්ථා ලබාදීමත්, කිසිවෙකු අතහැර නොදැමීමත් රජයේ මූලික ප්‍රතිපත්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ අද (22) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති ජනාධිපති අරමුදල මගින් සංවිධානය කළ “සරසවි දිරිය අභිමන්” උත්සවයට එක්වෙමිනි. එහිදී උතුරු පළාතේ ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් 75 දෙනෙකු ඇගයීමට ලක් කර, එක් සිසුවෙකුට රුපියල් 100,000 බැගින් මුදල් ත්‍යාගයක් සහ සහතිකපත් පිරිනැමිණි.
රට පුරා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් ඇගයීමට සහ තවත් තරුණ තරුණියන්ට අභියෝග ජයගෙන අධ්‍යාපනික අරමුණු කරා යාමට දිරිගැන්වීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
උතුරු සහ නැගෙනහිර පළාත්වල රටේ පසුගිය ගැටුම් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයන් ඇතුළු සැලකිය යුතු පිරිසක් සිටින බවද ඇය පෙන්වා දුන්නාය.
“කිසිවෙකු අතහැර නොදමන, සියලු දෙනාට සමාන අවස්ථා හිමිවන සමාජයක් ගොඩනැගීමට අප කටයුතු කරමින් සිටිනවා. ජනාධිපති අරමුදල ජනතාව වෙත සමීප කිරීම එම වැඩපිළිවෙළේ වැදගත් කොටසක්,” යැයි ඇය පැවසුවාය.
ආබාධ සහිත සිසුන්ගේ උසස් අධ්‍යාපන ගමන බොහෝවිට ශාරීරික බාධක මෙන්ම සමාජීය හා ආකල්පමය බාධකද ජය ගැනීමට සිදුවන අභියෝගාත්මක ගමනක් බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
ඔවුන්ගේ අධිෂ්ඨානය සහ කැපවීම අගය කළ ඇය, එම සිසුන්ගේ ජයග්‍රහණ අභියෝග හමුවේ අධෛර්යයට පත්වන තරුණ පරපුරටද ආදර්ශයක් බව පැවසුවාය.
ආබාධ සහිත සිසුන්ගේ අධ්‍යාපන ගමනට සහාය වූ දෙමාපියන්, ගුරුවරුන් ඇතුළු සියලු දෙනාටද අග්‍රාමාත්‍යවරිය සිය ස්තුතිය පළ කළාය.
අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත සිසුන් සඳහා මාසික දීමනාවක් හඳුන්වාදී ඇති බවත්, ආබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපනය සඳහා තාක්ෂණික සහාය ලබාදීමේ නියමු වැඩසටහනක්ද ආරම්භ කර ඇති බවත් ඇය පැවසුවාය.
“මෙම ඇගයීම ඔබේ ගමනේ අවසානය නොවෙයි. එය දීප්තිමත් ගමනක ආරම්භය පමණයි. ඔබට තිබිය හැකි ශාරීරික සීමාවන් කුමක් වුවත්, ඔබේ සිහිනවලට සීමා පනවන්න එපා. ඒවා සාක්ෂාත් කර ගැනීමට අධිෂ්ඨානයෙන් කටයුතු කරන්න,” යැයි අග්‍රාමාත්‍යවරිය සිසුන්ට පැවසුවාය.
ඔවුන්ගේ අරමුණු සහ බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා රජය සහ ජනතාව ඉදිරියටත් සහාය ලබාදෙන බවද ඇය අවධාරණය කළාය.
කථානායක ජගත් වික්‍රමරත්න, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන්, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා ඇතුළු මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, ආබාධ සහිත සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


