අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලෙස ආහාර වර්ග 16ක් හඳුනාගනී.

ඉදිරියේදී ආනයනය කිරීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ අටකි
රටේ පවතින ආහාර අර්බුදයට පිළියම් යෙදීම සඳහා සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ වී ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කැබිනට් අනුකමිටුවක් පිහිටුවිය යුතු බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) නිර්දේශ කළේය.

පවතින ආහාර අර්බුදයට මුහුණදීම සඳහා වගකිව යුතු සියලුම ආයතන ඒකරාශී කර ගැනීමටත්, කඩිනම් තීරණ ගැනීමටත්, ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පසු විපරම් කිරීමටත්, ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමටත් මෙම කමිටුව පිහිටුවීම වැදගත් බව කමිටු සාමාජිකයෝ පෙන්වා දුන්හ.

ගරු මන්තී‍්‍රවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කෝපා කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. (මහාචාර්ය) තිස්ස විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී.

ආහාර අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට සාර්ක් ආහාර බැංකුවේ සහ ලෝක ආහාර වැඩසටහනේ (WFP) සහය ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

රජය විසින් මෙරට ආහාර මිල පාලනය ඉවත් කිරීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල දරාගත නොහැකි ලෙස ඉහළ යාම පිළිබඳව කෝපා කමිටුවේ සභාපතිවරයා විස්තර කළේය. වෙළෙඳපොළේ පවතින ආහාර ද්‍රව්‍ය මිල අධික බැවින් රජයේ මැදිහත්වීමෙන් සාධාරණ මිලකට ආහාර ද්‍රව්‍ය සැපයීමේ හැකියාව සොයා බලන ලෙස ද කෝපා කමිටු සභාපතිවරයා නියෝග කළේය. ඒ අනුව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, ලංකා සතොස, රාජ්‍ය වෙළඳ සංස්ථාව (STC) සහ බහුකාර්ය සමුපකාර සමිති හරහා අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආහාර සැපයීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

දේශගුණික විපර්යාස, රුසියාවේ සහ යුක්රේනයේ යුද්ධය, ලෝක තිරිඟු, බඩඉරිඟු සහ පොහොර නිෂ්පාදනයේ අර්බුදය සහ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ආහාර නිෂ්පාදනයට දැඩි බාධා එල්ල වී ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.

දේශීය සන්දර්භය තුළ ශ්‍රී ලංකාවේ මෑතකාලීනව ඇති වූ පොහොර අර්බුදය, විදේශ විනිමය සංචිත හිඟය සහ පළිබෝධනාශක භාවිතය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය අර්බුදයක් මතුවීම හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය පහත වැටී ඇත. ශ්‍රී ලංකා රේගුව සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දත්තවලට අනුව, වාණිජ අමාත්‍යාංශය විසින් ආහාර වර්ග දහසයක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන ඇත.

ඒවා නම් සම්බා සහල්, නාඩු සහල්, කැකුළු සහල්, සීනි, රතු පරිප්පු, තිරිඟු පිටි, ලොකු ළූණු, අල සහ ටින්මාළු, කිරිපිටි, වියළි හාල්මැස්සන්, වියළි මිරිස්, කඩල, කුකුල් මස්, මාළු සහ බිත්තර ය.

මෙවර යල සහ මහ දෙකන්නයේ දී මෙරට නිෂ්පාදනය වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය සහ රටේ ඉල්ලුමට සරිලන පරිදි අවශ්‍ය ආහාර ප්‍රමාණය පිළිබඳව නිලධාරීන් දැනුවත් කළහ. නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නව රජය යටතේ පිහිටුවන ලද කමිටුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස්වන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දුන්නේ.

ලබන ජනවාරි මාසය වන විට රටේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ අනෙකුත් බලශක්ති අවශ්‍යතා සපුරාලන්නේ කෙසේද යන්න පිළිබඳ නිල ක්‍රියාකාරී සැලැස්මක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සකස් කර ඇති බව ද ඔහු පැවසීය. එය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම සඳහා විද්‍යුත් තැපෑලෙන් එවන බවද ලේකම්වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *