අගමැති ඉස්ලාමීය රටවල නියෝජිතයන් හමුවෙයි

ඉස්ලාමීය රටවල තානාපතිවරුන්ගේ සහ මහ කොමසාරිස්වරුන්ගේ හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ආරාධනයෙන් මෙම විශේෂ රැස්වීම සහ රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරටට පැමිණි තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.

Covid-19 වසංගතය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති කඩිනම් ක්‍රියාමාර්ගය තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් අගය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ඉස්ලාමීය රටවල් සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම් සහ ව්‍යාපෘති තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඔවුන් දක්වන දායකත්වය පිළිබඳව නියෝජිතයෝ සිය අදහස් පළ කළහ.

වසංගතය හමුවේ පවතින අභියෝග ජයගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට වත්මන් රජය ගන්නා උත්සාහය පිළිබඳව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීම සඳහා ඉස්ලාමීය රටවල අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තානාපතිවරුන්ට සහ මහ කොමසාරිස්වරුන්ට ප්‍රකාශ කළේය.

ඉස්ලාමීය රටවල් නියෝජනය කරමින් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 15 දෙනෙකු මෙම හමුවට එක්ව සිටියහ.

ඕමානය, පලස්තීනය, කුවේට්, සෞදි අරාබිය, මැලේසියාව, කටාර්, තුර්කිය, ඉරානය, ලිබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දුනීසියාව සහ ඊජිප්තුව නියෝජනය කරමින් තානාපතිවරුන් සහ මාලදිවයින, බංග්ලාදේශය සහ පාකිස්ථානය යන රටවල මහ කොමසාරිස්වරුන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *