හෙට සිට සෑම සති අන්තයකම නුවර දක්වා විශේෂ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක්…

හෙට (ඔක්. 1) සිට සෑම සති අන්තයකම කොළඹ කොටුව සහ මහනුවර අතර විශේෂ සුඛෝපභෝගී නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනය කරන බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී “දුම්රිය සහ නව මාර්ග සඳහා අනාගත සැලසුම්” පිළිබඳව ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනතාවට තම ගමන් සැලසුම්වලට පෙර ආසන වෙන් කරවා ගත හැකි බවයි.

සෑම සති අන්තයකම පෙ.ව.6.30ට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය පෙරවරු 9.18ට මහනුවරට ළඟාවේ. එදිනම මහනුවරින් පස්වරු 4.50 ට පිටත් වන දුම්රිය පස්වරු 7.40 ට කොටුවට ළඟා වේ.

දුම්රිය ආසන 44 කින් යුත් පළමු පන්තියේ වායුසමනය කරන ලද මැදිරි හතරකින් සහ එම ආසන සංඛ්‍යාවෙන් යුත් දෙවන පන්තියේ මැදිරි තුනකින් සමන්විත වේ.

පළමු පන්තියේ ගාස්තුව රු. 2,000 ක් වන අතර දෙවන පන්තිය රු. 1,500 – ඉහත සඳහන් ගාස්තු මහනුවර/කොටුව දක්වා එක් පැත්තක ගමනක් සඳහා බව අමාත්‍යවරයා පැවසීය.

මහනුවර බලා යන ගමනේදී දුම්රිය ගමනාන්තය වන මහනුවරට (පෙ.ව. 9.18) ළඟා වීමට පෙර ගම්පහ (පෙ.ව. 7.04), වේයන්ගොඩ (පෙ.ව. 7.15), පේරාදෙණිය (පෙ.ව. 9.03), සරසවි උයන (පෙ.ව. 9.12) යන ස්ථානවල නතර වේ. මුළු ගමනට පැය දෙකයි විනාඩි 48ක් ගතවේ.

ඉදිරියේදී තවත් සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ද අනුරාධපුරයට හඳුන්වා දෙන බවත් එය ඉදිරියේදී ප්‍රකාශ කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *