හිටපු ජනපති රනිල් පෙත්සමක වග උත්තරකරුවෙක් කරන්න අවසර

අභියාචනාධිකරණයේ පුරප්පාඩුව පැවැති විනිසුරු ධූර සඳහා පසුගිය පාලන සමයේදී විනිසුරුවරු පත් නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) අවසර දුන්නේය.

මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් සති හතරක් තුළ ගොනු කරන ලෙස වගඋත්තරකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කල් ලබා දීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලීණි.

අභියාචනාධිකරණයේ පුරප්පාඩුව පැවැති විනිසුරු ධූර පහක් සඳහා පසුගිය පාලන සමයේදී විනිසුරුවරු පත් නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය මහතා පෙත්සම ගොනු කර ඇත.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය අමතමින් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කරමින් පෙර දිනයක මෝෂමක් ගොනු කර ඇතැයි කීය.

එම මෝෂමට අවසර දුන් අධිකරණය ඒ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් සති හතරක කාලයක් තුළ ගොනු කරන ලෙස වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතාට කල් ලබා දුන්නේය.පෙත්සම ලබන වසරේ මාර්තු 10 වැනිදා යළි කැඳවීමටද අධිකරණය වැඩිුදුරටත් නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *