LK reports news sinhala

හෂීම් අම්ලා ජාත්‍යන්තර පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු හෂීම් අම්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ටෙස්ට් තරග 124ක් ක්‍රීඩා කර ඇති අම්ලා මේ වන විට 36 වැනි වියේ පසුවෙයි.

ලොව විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවකු වූ අම්ලා සිය ජාත්‍යන්තර ටෙස්ට් දිවියේදී ශතක 28 ක් සමග ලකුණු 9,282 ක් රැස්කරගෙන ඇති අතර ඔහුගේ ඉනිමක සාමාන්‍ය ලකුණු 46.64 කි.

2014 සිට 2016 දක්වා දකුණු අප්‍රිකානු ටෙස්ට් නායකත්වයද දැරූ අම්ලා 2012 වසරේදී එංගලන්තයට එරෙහිව ලකුණු 311 ක් රැස්කරමින් දකුණු අප්‍රිකා ක්‍රීඩකයකු එදාමෙදා තුර ලබාගත් එකම ත්‍රිත්ව ශතකයට හිමිකම් කීය.

එක්දින තරග 181 කට ක්‍රීඩා කර ඇති අම්ලා එක්දින ජාත්‍යන්තර පිටියේදී ද ශතක 27 ක් සමගින් ලකුණු 8113 ක් ලබාගෙන ඇත. එහි සාමාන්‍ය 49.46 කි. විස්සයි20 ජාත්‍යන්තර පිටියටද නැතිවම බැරි ක්‍රීඩකයකු වූ හෂීම් අම්ලා තරග 44 කදී අර්ධ ශතක 8 ක් සමගින් ලකුණු 1277 ක් රැස්කිරීමට සමත්වී ඇත. එසේම ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) තරගාවලියට අම්ලා සිය දායකත්වය වසර ගණනාවක් පුරා ලබාදෙයි.

ලෝක ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගත කිරීම් දෙකේදීම ප්‍රථම ස්ථාන හිමිකර ගැනීමටද කලක් අම්ලා සමත්ව සිටි අතර අම්ලාගේ සමුගැනීමත් සමග දකුණු අප්‍රිකාව බිහිකළ විශිෂ්ට ආරම්භක පිතිකරුවාගේ අඩුව ලෝක ක්‍රිකට් පිටියට නොඅඩුව දැනෙනු ඇත.

(මූලාශ්‍ර – Cricinfo / Image – bbc.com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *