හරක් කටා ගෙන් ඉල්ලීමක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකාබැලීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ගොනුකර ඇත.

එම පෙත්සම ඊයේ(06) සලකාබැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන  විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් “හරක් කටා” නමැත්තාට එරෙහිව මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් විවිධ අධිකරණයවල නඩු 22ක් පමණ පවතින බව සඳහන් කළේය.

මොහු විදේශගතවී තිබෙන්නේ වෙනත් පුද්ගලයෙකුගේ විදේශ ගමන් බලපත්‍රයක් මගින් යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනට පවතින රැඳවුම් නියෝගය අහෝසි කොට ඔහු මුදාහරිනු ලැබුවහොත් යළිත් අධිකරණය මඟ හැර පළායෑමේ හැකියාවක් පවතින බවත් අනතුරු අඟවා සිටියේය.

දැනට ඔහු වෙනුවෙන් නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය ලබන 10 වනදා අවසන් වීමට නියමිත බවත් එය තවදුරටත් දීර්ඝ කිරීමේ හැකියාව පවතින බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පැවසීය.

ඉදිරිපත්වූ කරුණු සලකාබැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල, අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙස නියම කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *