ෆෝර්මියුලා

හම්බන්තොටට ෆෝර්මියුලා 1 ධාවන පථයක්

මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ  හම්බන්තොට, තිස්සමහාරාම ප්‍රදේශය ආශ්‍රිතව ජාත්‍යන්තර මට්ටමේ මෝටර් රථ ධාවන පථයක් ඉදිකිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත්ව තිබූ අතර 2007 වසරේදී ඉදිකිරීමට සැලසුම්වී අදියර තුනක් යටතේ ගොඩනගමින් 2010 වසර වන විට සම්පූර්ණ කිරීම යෝජනාව විය. නමුත් ඊට විවේචන එල්ලවී තිබූ අතර ක්‍රියාත්මකවූයේ නැත.

එවක රජය යටතේ කොළඹ හා මහනුවර පැවති රේස් තරග ගැන ආන්දෝලනාත්මක කථාබස්ද පැවති අතර අනතුරුව බලයට පත් යහපාලන රජය විස්මිත ලෙස ගෙවල් වල හැංගූ රේස් කාර් සොයමින් පුවත් මැවූ හැටිද සිහිපත්වේ.
ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ෆෝර්මියුලා 1 ධාවන පථයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤ සහ ජපාන ආයෝජකයන් පිරිසක් මූලික සාකච්ඡාවකට පිවිස ඇතැයි ඊයේ සන්ඩේ ටයිම්ස් පුවත්පතෙන් කෙටි හෙළිදරව්වක් කර තිබේ.
රජයට සමීප නිලධාරියෙකු උපුටමින් එහි විස්තර දක්වා ඇති අතර මෙහිදී කිලෝමීටර් 5.6ක දුරකින් යුත් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් (Grand Prix track) ධාවන පථයක් ඉදිකිරිම සැලසුම වී ඇතැයි සඳහන් වෙයි. මෙහිදී රජයට අයත් ඉඩමක් ඊට ලබා දීමට නියමිතව ඇති අතර, දේශීය සම්පත් සහ විශේෂඥ දැනුම යොදා ගනිමින් එය සංවර්ධනය කෙරෙන බව සටහන්ව ඇත.
ධාවන තරග සඳහා යොදා ගන්නා මෝටර් රථ හම්බන්තොට වරායෙන් ගොඩබැස්සවීමටත්, හම්බන්තොට ගුවන් තොටුපොළ ආපනශාලාව මගින් පැමිණෙන අමුත්තන් වෙත සංග්‍රහ කිරීමටත් සැලසුම් කර ඇත.

පුවත්පත සඳහන් කරන ආකාරයට මෙම ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන්නක් වන අතර මේ හරහා හම්බන්තොට ප්‍රදේශයේ ‘ලෙෂර් පහසුකම්‘ සහ හෝටල් සඳහා ඉහළ ආකර්ෂණය කැඳවීමට අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *