හජ් වන්දනාකරුවන්ට වඩාත් පහසු සේවාවක්: නියෝජ්‍ය ඇමැති මුනීර් සවුදි බලධාරීන් හමුවේ

එළඹෙන 2027 වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500 දෙනෙකුට අවස්ථාව හිමිවන පරිදි ශ්‍රී ලංකාව සහ සවුදි අරාබිය අතර නිල හජ් ගිවිසුමට අත්සන් තබා තිබේ.
සවුදි අරාබියේ ජෙඩා (Jeddah) නුවර පැවති වාර්ෂික හජ් ප්‍රදර්ශනයට සහ සමුළුවට සමගාමීව පසුගිය සඳුදා (නොවැම්බර් 09) දින මෙම ගිවිසුම අත්සන් කිරීම සිදුවිය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා සහ සවුදි අරාබි රජය වෙනුවෙන් එරට හජ් සහ උම්රා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අබ්දුල්ෆත්තා බින් සුලෙයිමාන් මෂාත් මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
වන්දනාකරුවන්ට පහසුකම් වැඩිකිරීමට සාකච්ඡා
ගිවිසුම අත්සන් කිරීමට පෙර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස අවධාරණය කළේ, හජ් වන්දනා ක්‍රියාවලිය වඩාත් විධිමත් හා සරල කරමින් වන්දනාකරුවන්ගේ සමස්ත අත්දැකීම උසස් මට්ටමකට ගෙන ඒමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බවයි. එමෙන්ම 2027 හජ් සමයේ සැපයුම් සහ ප්‍රවාහන විධිවිධාන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය මුලෆ්ෆර් මහතා ප්රමුඛ කණ්ඩායම සවුදි හජ් හා උම්රා අමාත්‍ය ආචාර්ය තව්ෆික් ෆවුසාන් අල්රාබියා මහතාද හමුවිය.
මෙම අවස්ථාවට සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ්, ශ්‍රී ලංකා හජ් හා උම්රා කමිටුවේ සභාපති රෙයාස් මිහුලර්, ජෙඩා කොන්සල් ජනරාල් විනිසුරු එම්.ටී. මොහොමඩ් ලෆාර්, හජ් කමිටු සාමාජික රුෂ්දි කාලිඩ් යන මහත්වරුන් ඇතුළු කොන්සල් කාර්යාල නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
මීට අමතරව, පෞද්ගලික හජ් සංචාරක මෙහෙයුම්කරුවන් සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් 10 දෙනෙකුගෙන් යුත් ඒකාබද්ධ නියෝජිත පිරිසක්ද මෙහෙයුම් ප්රමිතීන් ඉහළ නැංවීම උදෙසා සවුදි අමාත්‍යාංශය විසින් පවත්වන ලද විශේෂ පුහුණු සැසිවාර සඳහා සහභාගී වූහ.




