ටෙලිනාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙතිකුමාරගේ නිවසේ සේවය කළ සේවිකාව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (29) නියෝග කළේය.
වැලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක අජිත් කුමාර මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මියගිය කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මොහොතේ සිට රෝහල් ගත කරන තුරුම සැකකරු භාරයේ සිටි බවයි. මියගිය කාන්තාව පාරේ වැටී තුවාල වූ බව පවසමින් සැකකරු ඇයව රෝහලට රැගෙන ගොස් ඇති බව අනාවරණය විය.
සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමසා සිටියේය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් තුනක් යොදවා ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ පොලිස් නිලධාරියා සැකකරු බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගැනීමේ ලේඛනවල මියගිය පුද්ගලයාගේ නම සටහන් වී නොමැති බව අධිකරණයට දන්වා සිටියේය. සැකකරු අපරාධයට කළ දායකත්වයට අදාළ සාක්‍ෂිවල සාරාංශ වාර්තාව වහාම ලබන දිනට ගොනු කරන ලෙස ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
2023 මැයි 03 වැනිදා රාජකුමාරි බොරැල්ල නිවසක සේවයට පැමිණි අතර 2023 මැයි 11 වැනිදා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනකු මෙම නිවසට පැමිණ ඇයව පොලිසියට රැගෙන ගොස් ඇයට පහර දී ප්‍රශ්න කර ඇත. පසුව ඇය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා මහතා සහ පොලිස් පරීක්ෂක මාධව ගුණවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.