සුපිරි වෙළඳසැලක පහරදීම සම්බන්ධයෙන් පස් දෙනෙකු අත්අඩංගුවට

බොරැල්ල ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳසැලක පාරිභෝගික කාන්තාවකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුපිරි වෙළඳසැලක කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් පාරිභෝගික කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වීමත් සමඟ පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා.

මෙම සිද්ධිය හංවැල්ල ප්‍රදේශයේදී සිදුව ඇති බවටයි මුලදී වාර්තා වුණේ. කෙසේ වෙතත් පසුව අනාවරණ වූයේ මෙම සිද්ධිය බොරැල්ලේ අලෙවිසැලක සිදුව ඇති බවයි.

සැකකටයුතු සොරකමකට ප්‍රතිචාර වශයෙන්, අලෙවිසැලේ සිටි පිරිමි සහ කාන්තා සේවකයින් කිහිප දෙනෙකු පාරිභෝගිකයාට අමානුෂික ලෙස පහර දෙන ආකාරය CCTV දර්ශනවල සටහන් විය.

සැප්තැම්බර් 18 වැනි දින මෙම සිදුවීම සිදුව ඇති බව වාර්තා වේ.කෙසේ වෙතත් එම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වන තුරු කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර නොතිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මීට පෙර සුපිරි වෙළඳසැලේ කළමනාකාරීත්වය ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වගකිව යුත්තන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *