සියලු හෝටල් ලියාපදිංචිය අනිවාර්යයි; විදේශිකයන් කරන අනවසර ව්‍යාපාරවලට වැට බඳී: ජාත්‍යන්තර ගුවන් සමාගම් 50ක් මෙරටට ගෙන්වන්න ජනපතිගෙන් උපදෙස්

වසර 2030 වන විට මෙරටට සංචාරකයින් මිලියන පහක් ආකර්ෂණය කරගැනීම සහ සංචාරක ක්ෂේත්‍රය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 10ක වාර්ෂික ආදායමක් උපයාගැනීමේ ජාතික ඉලක්ක සපුරාගැනීමේ උපායමාර්ග පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංචාරක කර්මාන්තයේ සංගම් නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක නිරත විය.

ඊයේ (ඔක්තෝබර් 28) පෙරවරුවේ පැවති මෙම හමුවේදී මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් පුළුල් කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ගතයුතු ප්‍රමුඛ පියවර රැසක් පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිණි.

මෙහිදී ත්‍රිකුණාමලය, මඩකලපුව, සීගිරිය සහ යාපනය ඇතුළු ප්‍රධාන සංචාරක ගමනාන්ත ඉලක්ක කරගනිමින් දේශීය ගුවන් ගමන් පහසුකම් පුළුල් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය. එමෙන්ම, ජාත්‍යන්තර ගුවන් සබඳතා සමාලෝචනය කරමින් මෙරටට මෙහෙයුම් සිදුකරන ගුවන් සමාගම් සංඛ්‍යාව 50 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර, මෙම වසර තුළ පමණක් නව ජාත්‍යන්තර ගුවන් සමාගම් 10ක් ශ්‍රී ලංකාව සමඟ මෙහෙයුම් ආරම්භ කර ඇති බව මෙහිදී අනාවරණය විය.

වනාන්තර සහ වනජීවී සම්පත් ආරක්ෂා වන පරිදි දැඩි නීතිරීති ක්‍රියාත්මක කරන අතරම, මෙරට ප්‍රමුඛ ජාතික වනෝද්‍යාන සංචාරක කර්මාන්තයේ වර්ධනය උදෙසා උපරිම ඵලදායීත්වයකින් යුතුව භාවිත කිරීම කෙරෙහිද අවධානය යොමුවිය.

හෝටල් ලියාපදිංචිය අනිවාර්ය කිරීම සහ නීතිවිරෝධී ව්‍යාපාර පාලනය

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා මේ වන විට ක්‍රියාත්මක කෙරෙන ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන්වල ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක්කෙරිණි. සමස්ත සංචාරක ක්ෂේත්‍රය විධිමත් කිරීමේ අරමුණින්, සියලුම සංචාරක හෝටල් සහ නවාතැන් සපයන ස්ථාන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) අනිවාර්යයෙන්ම ලියාපදිංචි කර නීතිමය රාමුවට ඇතුළත් කිරීමට මෙහිදී තීරණය විය.

ඊට අමතරව, නියමිත නීතිමය ක්‍රියාපටිපාටීන් උල්ලංඝනය කරමින් විදේශිකයන් විසින් මෙරට තුළ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර පාලනය කිරීම සහ නියාමනය කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය නීතිරීති පැනවීමටද විශේෂ අවධානයක් යොමුවිය.

හමුවට එක්වූ රාජ්‍ය සහ පෞද්ගලික අංශ ප්‍රධානීහු

මෙම සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්වරුන් එක්ව සිටියහ.

පෞද්ගලික සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරමින් ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති අශෝක හෙට්ටිගොඩ, රිසෝට් සංගමයේ උප සභාපති එක්සත් විජේරත්න, නියෝජ්‍ය සභාපති (පොදු) දිමිත්‍රි කුරේ, ජ්‍යෙෂ්ඨ කළමනාකාර කමිටු සාමාජික චමින් වික්‍රමසිංහ, ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා සංචාරක සංවිධායකයින්ගේ සංගමයේ සභාපති බොබී ජෝර්ඩන් හැන්සන් (Bobby Jordan Hansen) යන මහත්වරුන් ඇතුළු සංචාරක ප්‍රවර්ධන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ සංචාරක සංගම් රැසක නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *