LK reports news sinhala

සියල්ල කැරකෙන්නේ එකම දිශාවකටය – ජනපතිවරණ සටනේ දිශානතිය

ජනපතිවරණය සඳහා දින නියමවී සතියක් ගෙවී යමින් පවතී. මේ වනවිට දේශපාලන වේදිකාව උණුසුම් ස්වභාවයක් ගෙන ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ යන ප්‍රධාන පක්ෂ දෙකක්ම මේ වනවිට සිය අපේක්ෂකයා ඉදිරිපත් කර අවසන්ය. නමුත් මෙරට දැවැන්තම ඉතිහාසයක් හා ඡන්ද පදනමක් ඇති එක්සත් ජාතික පක්ෂයත් ජනපති මෛත්‍රීපාල සිරිසේන නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තවමත් සිය ස්ථාවරයන් ප්‍රකාශයට පත් කර නැත.

ශ්‍රීලනිපය බොහෝ දුරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කිරීම සඳහා අවදානය යොමුකරමින් පවතින බැවින් ඔවුන් තනි අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම විරලය. නමුත් එක්සත් ජාතික පක්ෂය මෙවර සිය පක්ෂයේම අපේක්ෂකයකු ඉදිරිපත් කිරිමේ අපේක්ෂාවෙන් පසුවන අතර මේ වනතුරුද ඔවුන්ගේ නිෂ්චිත අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත්තේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර පවතින කඹඇදිල්ල හේතුවෙනි. බහුතර මන්ත්‍රී පිරිස සජිත් ප්‍රේමදාස ඉල්ලද්දී අගමැති ඇතුළු කිහිපදෙනෙක් අගමැතිවරයා හෝ කථානායක කරු ජයසූරිය අපේක්ෂකයා කිරීමේ උත්සාහයක නිරතවීම හේතුවෙන් එජාපය දෙදරීමකට ලක්ව ඇත.

මේ අතර පසුගිය සතිය උණුසුම් කළ සිදුවීමක් වූයේ  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා විසිවන සංශෝධනය සම්මත කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ හදිසි කැබිනට් පත්‍රිකාවයි. එය අති බහුතරයකගේ අකමැත්තෙන් විසිවුවද ජනපතිවරණයක් කැඳවා තිබියදී හදිසියේ මෙවැනි යෝජනාවක් ගෙන ඒමේ වුවමානාව කාගේද යන්න කාටත් ගැටලුවක් විය. අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් සාමාජිකයන්ගේ දැඩි විරෝධය එල්ල වූ අතර ජනාධිපතිවරයා විසින් කියා සිටියේ එය අගමැතිවරයාගේ යෝජනාවක් බවයි. නමුත් එය ප්‍රතික්ෂේප කරමින් අගමැතිවරයා කියා සිටියේ එම යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ එකක් බවයි.

කෙසේ වෙතත් එදින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ඇමති මණ්ඩල සංදේශය මේ වනවිට අන්තර්ජාලයේ සමාජජාලා අතරට මුදා හැර ඇත. එහි දැක්වෙන ආකාරයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි. අමාත්‍ය රවුෆ් හකීම් එදිනම ඍජුව මේ සම්බන්ධයෙන් අගමැතිවරයාට චෝදනා එල්ල කළේය. ඊට අමතරව එජාප ඇතැම් මැති ඇමැතිවරුන්ද නොකියා කියා සිටියේ මෙය අගමැතිවරයාගේ වැඩක් බවයි.

කෙසේ වෙතත් අගමැතිවරයාට තිබූ යම් තරමක හෝ ප්‍රසාදය එම පක්ෂ අභ්‍යන්තරයේම දියවී යාමට මේ සිදුවීම හේතුවිය. දැන් වැඩිවශයෙන්ම එජාප අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස දෙසට නැඹුරු වී තිබේ. ඒ අනුව එළැඹෙන 26 වැනිදා එජාප අපේක්ෂකයා නම් කරනු ඇතැයි එජාප ආරංචි පවසයි. මේ මොහොත වන විටද දෙපිළ අතරම සාකච්ඡා වට කිහිපයක් පැවැත්වේ. නමුදු ඒ කිසිවකින් එකගතාවයකට පැමිණීමක් දක්නට නොවීය. මේ අතර සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායකට පක්ෂය ජයග්‍රහණය කරවීමට තමා සමග එක්වන මෙන් ආරාධනා කර ඇත.

දේශපාලන කරළිය උණුසුම් වෙද්දී වර්ෂාව ශ්‍රී ලාංකික ජන ජීවිතයට හරස් කැපීය. පසුගිය සමයේ ස්වභාවික අනතරු හා කැළඹීම් හේතුවෙන් සිදුවූ ව්‍යසනයන්හිදී ද රජයේ වැඩපිළිවෙළවල් ජනතා ප්‍රසාදයට පාත්‍ර නොවීය. ඒවායින්ද රජයේ ලකුණු කැපී ගියා කිවහොත් නිවැරදිය. ඒ තුළද ගෝඨාභය නාගරික සංවර්ධන අධිකාරිය තමා භාරයේ තිබියදී කළ වැඩසටහන් ප්‍රශංසාවට භාජනය වීම වැළැක්විය නොහැකිය.

විශේෂයෙන්ම පසුගියදා මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහනෝත්සවයට උසාවි තහනමක් ලැබීමත් සමග සිංහල බෞද්ධ ජනයා බොහෝ සෙයින් කිපීමකට ලක්විය. මේ හේතුවෙන් රජය යම් තරමකින් හෝ ගොඩනගාගෙන තිබූ ප්‍රතිරූපයද නැත්තටම නැතිවී ගිය බව කිව හැකිය. නමුත් රජය අවධානය යොමු කළේ දෙමළ ඡන්ද කෙරෙහිය. ඒ අන්තවාදී දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ගේ අන්තවාදී ක්‍රියාකාරකම්වලට ඉඩ දෙමිනි. නීතිය නැවීමටද ඔවුන්ට ඉඩ ලැබුණේ රාජ්‍ය අනුග්‍රහයෙනි. එසේ රජයෙන් ගිලිහෙන සිංහල බෞද්ධ මෙන්ම කතෝලික ඡන්දද කැරකෙණුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයා දෙසටය. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් විශේෂඥයකු නිසාය. යුද්ධය අවසන් කළ ආරක්ෂක ලේක්ම් හා හිටපු ජනපති කෙරෙහි මහජනයා විශ්වාසය තබා ඇත. දෙමළ අන්තවාදීන්ගේ එවැනි ක්‍රියා නිසා තවතවත් ගෝඨාභයගේ ඡන්ද ගොඩ වැඩිවනු ඇත.

එසේම පසුගියදා ගෝඨාභය රාජපක්ෂ ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් කෙරිණි. එයට හිටපු අල්ලස් හා දූෂණ මර්දන කොමිසමේ සභාපතිනි දිල්රුක්ෂි ඩයස් හා ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අතර දුරකථන සංවාදයද බෙහෙවින් ඉවහල් විය. මේ හේතුවෙන්ද යම් හෝ සැකයක් ගෝඨාභය කෙරෙහි තිබූ ජනතාවටද එය ඉවත දමාගැනීමට සිදුවිය.

මේ අනුව ගෝඨාභයගේ ස්ථිර ඡන්ද පදනමට තවත් ඡන්ද වැඩි වැඩියෙන් එකතු වෙමින් පවතී. ඒ ආණ්ඩුවේම දුර්වලතා නිසා බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි. මේ අනුව ඉදිරියේදී එජාප අපෙක්ෂකයා නම් කිරීමෙන් පසු පෞද්ගලිකව ඔහුගේ හැසිරීම, අතීත ක්‍රියාකාරකම් මෙන්ම ජනපති අපේක්ෂක ලෙස ක්‍රියාකරන අයුරු දෙස සමාජයේ ඇස යොමුවී තිබේ. එය ඉදිරි ඡන්දයේදී තීරණාත්මක වනු ඇත. එම සියල්ල ගෝඨාභය පරාජය කිරීමට තරම් ප්‍රමාණවත් තත්ත්වයකට ගෙන ඒමට නම් එජාප අපෙක්ෂකයාට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවනු ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *