සැහැල්ලු වාහාන රියදුරන්ට පණිවිඩයක්

ගතවූ පැය 24ක කාලය තුළ රිය අනතුරුවලින් සිදුවූ මරණ 9ක් වාර්තා වී තිබේ.

පොලීසිය පවසන්නේ එම මරණවලින් 7ක්ම යතුරුපැදිවලින් ගමන් ගත් පුද්ගලයින් බවය.

අනෙක් දෙදෙනා ත්‍රීරෝද රථවලින් ගමන් කළ පුද්ගලයින්ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ කුඩා වාහනවලින් ගමන් කරන පිරිස් වැඩි වශයෙන් රිය අනතුරුවලට ලක්වීමේ තත්ත්වයක් දැකගත හැකි බවය.

දිනකට 40ක් වැනි පිරිසක් රිය අනතුරුවලින් තුවාල ලබන බවද ඔහු පැවසීය.

ඒ අනුව කුඩා වාහනවලින් ගමන් කරන පිරිස් වඩාත් ආරක්ෂාකාරීව මාර්ගවල ගමන් කළයුතු බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මේ අතර වාහන දඩ මුදල් විද්‍යුත් ක්‍රමයට ගෙවීම සහ රියදුරන් වෙනුවෙන් කුසලතා ලකුණු ක්‍රමය ළඟදීම හඳුන්වාදීමට පියවර ගන්නා බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඔහු පෙන්වාදෙන්නේ කුසලතා ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා නීති සහ දත්ත පද්ධති පවතින අතර ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමට මේ වනවිටත් පියවර ගනිමින් සිටින බවය.

මේ අතර මාර්ග අවහිර කරමින් සිදුකරන යාචක ව්‍යාපාරය නතර කිරීමට පියවරගන්නා බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *