පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තවත් තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳගේ සහෝදරයා තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන බව පොලීසිය පවසයි.
ඒ අනුව සැකකරු හෙට දිනයේදී කොළඹ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අදාළ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරිය මිය යෑමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කළ 22 හැවිරිදි සහ 32 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ මෙම තොරතුරු අනාවරණ වී තිබුණි.
එහිදී අදාළ 22 හැවිරිදි තරුණිය පවසා ඇත්තේ තමා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අමාත්‍යවරයෙකු වශයෙන් සිටි පසුගිය පාලන සමයේ ඔහුගේ නිල නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි අතර එහිදී හිටපු අමාත්‍යවරයාගේ මස්සිනා වන ශියබ්දීන් ඉස්මදීන් තමන්ව දූෂණය කළ බවය.
පළමුවරට දූෂණයට ලක් වන විට 16 හැවිරිදි වියේ පසුවූ අදාළ තරුණිය විමර්ශනවලදී සැකකරු හඳුනාගත් බව පොලීසිය සඳහන් කළේය.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා, 16 හැවිරිදි දැරිය මිය ගිය දිනට පසුදින හදිසියේම රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.
එහිදී මන්ත්‍රීවරයා විසින් තමන්ව මුදල්ගෙවා ප්‍රතිකාර ලබාගත හැකි කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි.
කෙසේවෙතත් ඔහු පිළිබඳව සිදුකරන පරීක්ෂණ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
කොළඹ ජාතික රෝහලෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ තත්ත්වය සාමාන්‍ය බවය.