සයින්දමරුදු තොරතුරු දුන් පුද්ගලයාට ලක්ෂ 50ක්

මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට සමගාමීව තවත් ප්‍රහාරයකට සූදානම්ව සිටි ත්‍රස්තවාදී කණ්ඩායමේ නායක සහරාන් හෂීම් ගේ පවුලේ අය ඇතුළු පිරිසක් සමන්තුරේ සයින්දමරුදු ප්‍රදේශයේ සැඟව සිටින බවට පොලිසියට හා හමුදාවට තොරතුරු ලබාදුන් පුද්ගලයාට රුපියල් ලක්ෂ 50ක ත්‍යාගයක්  පිරිනැමිණි.

පාස්කු ප්‍රහාරයට පෙර මීගමුවේ සිට අම්පාර දක්වා භාණ්ඩ රැගෙන යෑම සඳහා කුලී ගමනක් යමින් සිටි ලොරි රථ රියදුරකු වූ ඔහු තිදරු පියෙකි. පාස්කු ප්‍රහාරයෙන් පසු ඔහු තමන්ට ලැබුණ කුලී ගමනේ සිටි අය ගැන සැකයකින් නැවත කල්පනා කර තිබූ අතර තමන් අම්පාර – සයින්දමරුදු ප්‍රදේශයට රැගෙන ගිය භාණ්ඩ පිළිබද ඇති වූ සැකය මත ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබාදී තිබිණි.

ඔහුගේ ඔත්තුව නිසා සමන්තුරේ සෙන්ගල් හි ත්‍රස්තවාදීන්ට අයත් පුපුරණ ද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ අතර  එදිනම සමන්තුරේ නින්දවුරු හි නිවසක පුපුරන ද්‍රව්‍යද සොයා ගැනිණි. එහිදී ලද තවත් තොරතුරක් මත සහරාන්ගේ පවුලේ ඥාතීන් සැඟව සිටි ස්ථානය හඳුනාගැනීමට ආරක්ෂක අංශ සමත් වූ අතර සහරාන්ගේ ඥාතීන් සොයා හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කරද්දී ඔවුන් මරාගෙන මැරුණු අතර මේ නිසා ඉදිරි ප්‍රහාර වැළකී ගියේය.
මෙම ලොරි රථ රියදුරු ලබාදුන් තොරතුරු නිසා ඔහුට තර්ජන ඇතිවේයයි අනාරක්ෂිත බවක් ඇතිව තිබුණ අතර පසුගිය කාලයේ ඔහු සේවයෙන් ඉවත්ව බියෙන් සැඟවී සිටියේය. මේ නිසා ඔහුට ජීවත්වීමේ දුෂ්කරතා මතුව තිබූ බව මාධ්‍ය ඔස්සේ අනාවරණය විය. මේ සම්බන්ධයෙන් ජනපති අවධානයද යොමුවූ අතර ඔහු විසින් ලබාදෙන ලද එක් තොරතුරක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 බැගින් තොරතුරු දෙක වෙනුවෙන් ලක්ෂ 50ක මුදලක් රජය විසින් පිරිනමනු ලැබීය.

(Image – Fast News)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *