සංචාරක බස්රථ හිමියන්ට කල්බදු ‌වාරික සදහා සහන කාලයක්

සංචාරක බස්රථ හිමියන්ට කල්බදු වාරික ගෙවීම සදහා සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම තීරණය වලට එළඹුණේ ලංකා සංචාරක බස්රථ හිමියන්ගේ සංගමය හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර එම අමාත්‍යංශයේ දි පැවති සාකච්ඡාවක දිය. මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් ප්‍රවාහණයට බස්රථ 700ක් පමණ යොදවා තිබෙන අතර ඉන් 5%ක් සංචාරක සමාගම් මගින්ද ඉතිරි 95% ම පුද්ගලික ව්‍යවසාකයින් විසින්ද යොදවා තිබීම විශේෂත්වයකි.

පාස්කු ප්‍රහාරයෙනු පසු සංචාරක කර්මාන්තය බිදවැටීමත් සමග මෙම බස්රථ කර්මාන්තය සම්පුර්ණයෙන්ම අඩාල වු බවත් කල්බදු වාරික ගෙවා ගත නොහැකිව ඇතැම් බස්රථ මේ වන විට ලීසිං සමාගම් විසින් රැගෙන ගොස් ඇති බවත් ලංකා බස්රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් ඇමතිවරයාට පෙන්වා දුන්හ. පසුගිය රජය සමග රැස්වීම් ගණනාවක් පැවැත්වුවද කිසිදු සහනයක් නොලැබුණු බව ඔවුහු ඇමතිවරයාට පැමිණිලි කළ අතර නව රජය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දෙන රුපියල් මිලියන 300 සහන ණය යෝජනා ක්‍රමයට තමන්ද ඇතුළත් කරන්නැයිද ඉල්ලා සිටියහ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ මේ පිළිබදව මුදල් අමාත්‍යංශයේ අවධානය යොමු කරන බවයි. ඔවුන් සමග සාකච්ඡා කර ඒ සදහා කැබිනට් මණ්ඩලයට යොජනාවක් ඉදිරිපත් කරන බව පැවසු ඇමතිවරයා එම කැබිනට් පත්‍රිකාව සකසන ලෙස අමත්‍යංශ ලේකම් මරීනා මොහොමඩ් මහත්මියට උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *