LK reports news sinhala

පටෙල් ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් වෙයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 227ක් ලබා ගැනීමට සමත්ව සිටියේය.

ඊයේ(14) වර්ෂාව හේතුවෙන් පළමු දිනට තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායම ලකුණු 247කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. අද දවාගත් සියලු කඩුලුවලට සුරංග ලක්මාල් හිමිකම් කී අතර එක් දුවද්දී දැවී යාමක් ද සිදුවිය. ඊයේ නොදැවී ක්‍රීඩාකරමින් ලකුණු 86ක් ලබා සිටි නවසීලන්ත ක්‍රීඩක රොස් ටේලර්ට අද දිනයේ එකදු ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාව නොලැබිණි. සුරංග ලක්මාල් ලකුණු 29කට කඩුලු 4ක් බිඳ හෙළූ අතර අකිල ධනංජය ලකුණු 80කට කඩුලු 5ක් බිඳ හෙළීය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට අවස්ථාවක් නොලැබුණු අතර කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ. අනතුරුව ලකුණු 161කට කඩුලු 7ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම අසරණවී සිටි අවස්ථාවේ නිරෝෂන් දික්වැල්ල හා එක්වූ සුරංග ලක්මාල් දිනය නිමාවන විටත් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 227ක් දක්වා ඉහළ නැංවීමට සමත් වූහ. තවත් ලකුණු 22ක් නවසීලන්තයට වඩා පිටුපසින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබලතම තර්ජනයක් එල්ල කිරීමට නවසීලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල් සමත් විය. ඔහු අද දිනයේ පන්දුවාර 29ක් යවා ලකුණු 76කට කඩුලු 5ක් බිඳ හෙළිමට සමත් විය.

(මූලාශ්‍ර හා ඡායාරූප – cricinfo වෙබ් අඩවියෙනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *