විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුණ හේමචන්ද්ර මහතා ඔක්තෝබර් 20 සිට 26 දක්වා රුමේනියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ශ්රී ලංකාව සහ රුමේනියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, රැකියා අවස්ථා පුළුල් කිරීම මෙන්ම වෙළෙඳාම සහ ආයෝජන ප්රවර්ධනය කිරීම මෙම සංචාරයේ ප්රධාන අරමුණු වේ.
මෙම සංචාරයේ ප්රධාන අංගයක් ලෙස ශ්රී ලංකාව සහ රුමේනියාව අතර හයවැනි වටයේ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එහිදී දැනට පවතින සහයෝගීතාව සමාලෝචනය කරමින්, දෙරට අතර නව සහයෝගීතා ක්ෂේත්ර හඳුනාගැනීමට අපේක්ෂා කෙරේ.
ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමක් යටතේ පිහිටුවා ඇති ශ්රී ලංකා-රුමේනියා කම්කරු සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ ක්රියාකාරී කණ්ඩායමේ මංගල රැස්වීමටද නියෝජ්ය අමාත්යවරයා සහභාගී වීමට නියමිතය.
එහිදී ශ්රී ලාංකිකයන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීම, ආරක්ෂිත හා විනිවිදභාවයෙන් යුත් බඳවාගැනීමේ ක්රමවේද සහතික කිරීම සහ රුමේනියාවේ සේවය කරන ශ්රී ලාංකික සේවකයන්ගේ ආරක්ෂාව, සුබසාධනය හා අයිතිවාසිකම් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ.
වෙළෙඳාම, ආයෝජන සහ ආයතනික සහයෝගීතාව වර්ධනය කරගැනීමේ අවස්ථා සොයා බැලීම සඳහා බුකාරෙස්ට්, ටිමියෝෂාරා සහ අරාද් යන නගරවලදී රුමේනියානු රජයේ ජ්යෙෂ්ඨ නිලධාරීන්, පාර්ලිමේන්තු නියෝජිතයන් සහ ව්යාපාරික මණ්ඩල සමඟද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
රුමේනියාවේ ප්රදේශ කිහිපයක ජීවත් වන ශ්රී ලාංකික ප්රජාවන් හමුවීමටද හේමචන්ද්ර මහතා අපේක්ෂා කරයි. එහිදී ඔවුන් මුහුණ දෙන ගැටලු, සුබසාධන අවශ්යතා සහ කොන්සියුලර් සහාය ලබාගැනීමේ පහසුකම් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම සංචාරය තුළින් ශ්රී ලංකාව සහ රුමේනියාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරටේ සහයෝගීතාව ශ්රී ලාංකිකයන්ට ආර්ථික අවස්ථා සහ ප්රායෝගික ප්රතිලාභ ලබාදෙන වැඩපිළිවෙළක් බවට පත් කිරීම අපේක්ෂා කෙරේ.


