ශ්‍රී ලංකාව උණුසුම් කාලගුණය හේතුවෙන් ලැව්ගිනි වැඩිවෙමින් පවතිනවා

ශ්‍රී ලංකාවේ පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ ලැව්ගිනිවල වැඩිවීමක් බලධාරීන්ගේ අවධානයට ලක්ව තිබේ. මෑතක දී වාර්තා වූ ලැව්ගිනි සිදුවීම් සංඛ්‍යාව 123ක් වීමත් සමඟ ඒ බව පැහැදිලි වේ.

මේ බව අනාවරණ වූයේ ලැව්ගිනි ඉහළ යාම සහ එය පාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

පවතින වියළි කාලගුණය හේතුවෙන් රක්ෂිත සහ වගා බිම්වල ගිනිගැනීම් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් පසුගිය වසරේ වාර්තා වූ ලැව්ගිනි 78 ට සාපේක්ෂව මේ වසරේ ලැව්ගිනි 123 ක් වාර්තා වූ බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

පවතින වියලි කාලගුණයත් සමඟ සිතාමතා හෝ නොසැලකිලිමත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ලැව්ගිනි ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවත්, කඳවුරු බැඳගෙන සිටින කණ්ඩායම් හේතුවෙන් ද එවැනි ක්‍රියා සිදුවීමට ඉඩ ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එබැවින් මෙවැනි වන විනාශයන් වැලැක්වීම සඳහා පූර්ව ක්‍රියාමාර්ග ගැනීමට සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බවද ඔහු පැවසීය.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවන ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC), ත්‍රිවිධ හමුදාව, ගිනි නිවන ඒකක, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දින කිහිපය තුළ විශාල උත්සාහයක් ගත් බව ඔහු පැවසීය. .

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වැවිලි කර්මාන්ත සහ වරාය අධිකාරිය වෙත නිරීක්ෂණ කටයුතු රැසක් පැවරීමට කටයුතු යොදා ඇති බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ වනජීවී දෙපාර්තමේන්තුවට විශේෂ ඉල්ලීම් ද ඉදිරිපත් කර ඇති බව ද ඔහු සඳහන් කළේය. විශේෂයෙන්ම අධි සංවේදී ප්‍රදේශවල මෙම තත්ත්වය පාලනය කිරීමට සහ ඒ සඳහා සහයෝගය ලබාදිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආරක්ෂක අමාත්‍යාංශය සාකච්ඡා කර ඇති බව සඳහන්.

ඉදිරි දින කිහිපය තුළ ගිනි පටි නිර්මාණය කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරන බවත්, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක අංශ සාමාජිකයින් පුහුණු කිරීම සඳහා ගිනි නිවන ඒකකය මගින් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *