ශ්‍රී ලංකාවේ පළමු JFJCM ව්‍යාපෘතියට ජපානයෙන් ඩොලර් මිලියන 5.5ක සහායක්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ අමාත්‍ය සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී නාඔකි කමොෂිඩා මහතා අද පැවති ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් “Rooftop Solar Aggregation and Virtual Net Metering Project” හෙවත් “වහල මත සූර්ය බලශක්ති එකතු කිරීම සහ අතථ්‍ය ශුද්ධ මීටරකරණ ව්‍යාපෘතිය” සඳහා සහභාගී විය.

ආසියානු සංවර්ධන බැංකුව (ADB) යටතේ ජපාන රජයේ සහාය ඇතිව ස්ථාපිත Japan Fund for the Joint Crediting Mechanism (JFJCM) රාමුව යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පළමු ව්‍යාපෘතිය මෙය වේ.

ශ්‍රී ලංකාවේ පිරිසිදු බලශක්ති පරිවර්තනය වේගවත් කිරීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය සඳහා JFJCM මගින් ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක ප්‍රදානයක් ලබාදීමට නියමිතය.

ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක් ලෙස මීගමුව සහ ගාල්ල අතර කිලෝමීටර් 140කට ආසන්න දුරකින් යුත් ප්‍රදේශයක ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් High Temperature Low Sag (HTLS) විදුලි බෙදාහැරීමේ රැහැන් පද්ධතියක් ස්ථාපනය කිරීමට නියමිතය.

සාම්ප්‍රදායික විදුලි බෙදාහැරීමේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මෙම නවීකරණය හරහා තාක්ෂණික බලශක්ති හානි 30%ක් දක්වා අඩු කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ පළමු විදුලි බෙදාහැරීමේ ජාලයට සම්බන්ධ Battery Energy Storage System (BESS) හඳුන්වාදීමටද ව්‍යාපෘතිය යටතේ කටයුතු කෙරේ. එහි ධාරිතාව මෙගාවොට් පැය 6කි.

දිවා කාලයේ සූර්ය බලශක්ති නිෂ්පාදනයෙන් අතිරික්ත වන විදුලිය ගබඩා කර, සවස් කාලයේ විදුලි ඉල්ලුම ඉහළ යන අවස්ථාවලදී එම විදුලිය නැවත ජාලයට ලබාදීම මෙම බැටරි පද්ධතියේ අරමුණ වේ.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන හවුල්කරුවෙකු ලෙස ජපානයේ කැපවීම යළි තහවුරු කරමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය නවීන අඩු කාබන් තාක්ෂණයන් සහ ජාත්‍යන්තර සහයෝගීතාව ඒකාබද්ධ කරයි.

ශ්‍රී ලංකාව 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන ඉලක්කය සපුරා ගැනීමට දරන උත්සාහයට සහාය වීමද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *