ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණයහිමියන් සමඟ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට ජපානය සූදානමක්…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා සමඟ අද පෙරවරුවේ ටෝකියෝ නුවරදී සාකච්ඡා පැවැත්වීය.

මෙම හමුවේදී විදේශ අමාත්‍ය හයාෂි ජාමූඅ සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සාදරයෙන් පිළිගත් අතර ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සාකච්ඡාවලදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට තම රට කැමැත්ත පළ කළේය.

හිටපු රජය විසින් ආයෝජන ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමත් සමඟ ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා බිඳ වැටීම පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ මහතා කණගාටුව ප්‍රකාශ කළේය. එම ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට තමන් උනන්දු වන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ජපානය ආයෝජනය කිරීමට රජය උනන්දු වන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ජපානය පුනර්ජනනීය බලශක්තිය සඳහා වන සිය කැපවීම වැඩි කර ඇති බවත් ශ්‍රී ලංකාවේ අනාගත ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට කැමැත්තෙන් සිටින බවත් ජපාන විදේශ අමාත්‍ය හයාෂි පැහැදිලි කළේය.

ජපානය ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් සඳහා පුහුණු ශ්‍රමික විභාග 2023 ජනවාරි මාසයේදී ආරම්භ කරන බව ද විදේශ අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ජපානය ජාත්‍යන්තර තලයේ දක්වන සහයෝගය අගය කළ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් වීමේ ජපානයේ සහ ඉන්දියාවේ ව්‍යාපාරයට සහයෝගය දැක්වීමට රජයේ කැමැත්ත ප්‍රකාශ කළේය. විදේශ අමාත්‍යවරයා ප්‍රවෘත්තිය සාදරයෙන් පිළිගත්තේ ආසියාවට ලෝක වේදිකාවේ වැඩි නියෝජනයක් අවශ්‍ය බව අවධාරණය කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *