ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සලසමින් ඉදිකළ නව පිවිසුම් මඟ විවෘත කිරීම ඊයේ (20) පෙරවරුවේ යෙදුණ සුබ මොහොතින් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කළහ. ජය ශ්‍රී මහා බෝධි ප්‍රධාන රථ ගාලේ සිට බටහිර දොරටුව දක්වා ඉදිකළ නව මඟ මෙලෙස ජනතා අයිතියට පත් කෙරිණ.
මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මීටර් දෙසිය පනහක පමණ දුරක් ඉදිකර ඇති මෙම පෙත්මඟ සඳහා වැය කර ඇති මුදල මිලියන අටක් (08) පමණය. මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් භාර අධ්‍යක්ෂ ආර්.එම්.බී. රත්නායක, ප්‍රධාන ඉංජිනේරු සුධර්මන් පෙරේරා, විධායක ඉංජිනේරු චමින්ද සිල්වා, උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහත්වරු ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.
පල්ලේගම හේමරතන නාහිමිපාණන්, බෝදාගම චන්දිම නාහිමි ප්‍රමුඛ මහ සංඝරත්නය ඇතුළු පිරිස නව පිවිසුම් මඟ ඔස්සේ ගමන් කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.