ශ‍්‍රි ලංකාවට ජාත්‍යන්තර හමුදා යෙදවීම සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක්…

රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය මානව ආපදාවක් බවට පත්කර ජාත්‍යන්තර හමුදාවක් ශ්‍රී ලංකාවට කැඳවීමට සමහරුන්ට අවශ්‍ය වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම අදහස් පළකළේය.

‘අපි මුහුණ දී සිටින ආපදාව මානව ආපදාවක් දක්වා වර්ධනය කරන්න සමහරුන්ට අවශ්‍යයි ගාලු මුවදොර පිටියට ගස්සන්න සමහරුන් ඕන. ඒකට සදාචාර හේතුව බවට පත් කරගෙන අනෙක් මැති ඇමතිවරුන්ගේ ගෙවල් ගිනි තියන්න සමහරුන්ට ඕන. එතකොට තමයි මානව ආපදාවක් ඇති වෙන්නේ.

ආර්ථික ආපදාවක් මානව ආපදාවක් බවට පත් වුණාම තමයි ශ්‍රී ලංකා රජයේ නීතිය හා විධානය ක්‍රියාත්මක වෙන්නේ නැහැ පොලිසියට බැහැ හමුදාවට බැහැ කියන තත්ත්වය පිළිගන්නේ. අන්න එතකොට තමයි ජාත්‍යන්තර වශයෙන් හමුදාමය අත පෙවීමක් ආක්‍රමණයක් වුවත් එන්න වාතාවරනය නිර්මාණය වෙන්නේ.

දැන් පවතින ආර්ථික ආපදාව මානව ආපදාවක් බවට පත් කරන්න ඇතැම් අයට අවශ්‍ය වුණා. මානව ආපදාවක් ඇති වූ විට බාහිර පාර්ශ්වයන්ට හොට දාන්න පොට පෑදීමක් බව කවුරුත් දැන ගන්න ඕනෑ. මේ රටම ගිනි තබන්න එන්න කියලා ඇතැම් අය ආරාධනා කළා. ආර්ථික පීඩාව නිසා මේ ප්‍රචණ්ඩත්වය ඇති වුණා කියලා කිව්වත් ඇත්ත තමයි එදා නීතිය බිඳ වැටීම. මම දන්න හැටියට මේ පිරිසට ගාලු මුවදොරට යන්න දෙන්න එපා කියලා තෙන්නකෝන්ට කිව්වා කියන දේ දැන් දන්නවා. පසුව මොකද වුණේ. හැම පොලිසියකටම නියෝග දීලා තිබුණෙ පොලිසිය අකර්මණ්‍ය වෙන්නයි. හමුදාව සක්‍රීය නොවීමත් ඒ සැලසුමේම කොටසක්. අපව මරන්න අවශ්‍ය නම් මරන්න. අරලිය ගහ මන්දිරයට මිනිසුන් ගෙනා ගොන් වැඩේට අපි විරුද්ධ ඒක සැලසුමේ කොටසක් නිසයි. හැමදෙයක් ගැනම ටුවිට් දාන අමරිකානු තානාපතිවරිය මිනිසුන් මරද්දි නිහඬව සිටියා. ඇයි ඒ?

අදත් මෙතැන බෙදීම ඇති කළේ අර කපුටා. ඒ කපුටාට රැවටෙනන්න එපා. මේ රට ගොදුරක් කරගන්න හදන අයට අවශ්‍ය දේවල් කරන්න එපා. බලන්න දැන් ලොතරැයිය ඇදුණේ රනිල් මහත්තයාටනේ.

එදා නීතිය බිඳ වැට්ටවුවන්ට දැන් නීතිය ක්‍රියාත්මක කරද්දි රතු මල්ලිලා විරුද්ධ වෙනවා. මොකද ඒ අය බයයි ඒ අයත් අත්අඩංගුවට ගනියි කියලා’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *