කරුණු යටපත් කර අතුරු සහනයක් ලබා ගත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සිය නීතීඥවරයා මාර්ගයෙන් ඊයේ අභියාචනාධිකරණය හමුවේ අයදුම්පතක් ඉදිරිපත් කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට පමණක් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බව ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උදිත එගලහේවා මහතා අධිකරණයට දන්වා සිටියේය.
විගණකාධිපති වාර්තාවෙන් හෙළි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ, විෂමාචාර සහ අක්‍රමිකතා සැලකිල්ලට ගනිමින් අතුරු කමිටුවක් පත් කිරීමට අමාත්‍යවරයාට සිදු වූ බව එගලහේවා මහතා අධිකරණයට ඉදිරිපත් කළේය. මෙම පෙත්සම ආරම්භයේදීම නිෂ්ප්‍රභ කරන ලෙස අධිකරණයට ඉදිරිපත් කළ ඔහු මෙම පෙත්සම සම්බන්ධයෙන් අතුරු නියෝගයක් නිකුත් නොකළ යුතු බව නිරීක්ෂණය කළේය.
සෝභිත රාජකරුණා සහ ඩී.එන්.සමරකෝන් යන විනිසුරුවරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම වැඩිදුර විභාගය අද (23) දිනට නියම කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම නොවැම්බර් 16 වැනිදා දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණය නොවැම්බර් 7 වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිලධාරී මණ්ඩලය ස්වාධීන වීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවශ්‍යතා මත පමණක් ක්‍රියා කිරීමත් දේශපාලනිකව නොනැසී පැවතීමත් මූලික හේතුව නිසා ක්‍රීඩා අමාත්‍යවරයා අමාත්‍ය ධුරයේ වැඩ භාරගත් දා සිට සහ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද්වේෂ සහගතව කටයුතු කළ බව පෙත්සම්කරු පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය. ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජී.ජී.අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ උදිත එගලහේවා මහතා පෙනී සිටියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති අර්ජුන රණතුංග මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.