මෙරට වෙබ් අඩවියක් නුගේගොඩ දිසා අධිකරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතාගෙන් සමාව ඉල්ලා තිබේ.
ඒ මීට පෙර අදාළ වෙබ් අඩවියේ ඔවුන් විසින් පළකළ පුවතක් සම්බන්ධයෙනි.
අදාළ පුවත පළවී තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා සිය බිරිඳට තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි මෝටර් රථ අලෙවිසැලකින් රේන්ජ් රෝවර් මෝටර් රථයක් මිලට ගෙන දී ඇති බවය.
2021 වසරේදී පළ කළ එම පුවත අසත්‍යයක් බවත් එමගින් තමන්ට සිදුවූ අපකීර්තිය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා නුගේගොඩ දිසා අධිකරණයේ අදාළ වෙබ් අඩවියට එරෙහිව නඩු පවරා තිබුණි.
ඊට අදාළ නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී එකී වෙබ් අඩවිය විවෘත අධිකරණයේ දී පැමිණිලිකරැගෙන් සමාව ඉල්ලා සිටීමත් සමග අවසන් කර තිබේ.
අදාළ ප්‍රවෘත්තියෙන් පසු එහි කියැවුණු මෝටර් රථ අලෙවි සමාගම පැවසුවේ තමන්ට තලවතුගොඩ ප්‍රදේශයේ කිසිදු වාහන අලෙවිසලක් නොමැති බවත් තම ආයතනයෙන් චන්න ජයසුමන මහතා හෝ ඔහුගේ බිරිඳ කිසිදිනක මෝටර් රථයක් මිලදී ගෙන හෝ පැමිණවත් නොමැති බවත්ය.