වෙන කිසිම රජයකින් පන්සල්වලට විදුලිය විසන්ධි කරලා නැහැ – ලක්ෂ්මන් කිරිඇල්ල

විහාරස්ථානවලට විදුලිය විසන්ධි කළ එකම පාලනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – එජාප පාලනය බව සමගි ජන බලවේගය පවසයි.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, “ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය, විධායකය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින බවට දිවුරුම් දී තිබෙනවා. නමුත් පසුගිය මාස කිහිපය තුළ අපි දැක්කා රජය බුද්ධාගම පෝෂණය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ යුතුකම ඉටු කිරීමට අසමත් වී ඇති බව. මිහින්තලා රජමහා විහාරය ඇතුළු බෞද්ධ විහාරස්ථාන කිහිපයකට විදුලිය විසන්ධි කර තිබෙනවා. අපේ නායක සජිත් ප්‍රේමදාස මහතා බිල ගෙවා මිහින්තලා රජමහා විහාරස්ථානයට සැපයුම යථා තත්ත්වයට පත් කළා. අද උදේ පන්සල් කීපයකට කතා කරලා බැලුවා පන්සල් රැසක විදුලිය විසන්ධි කරලා කියලා. වාර්ෂික දළදා පෙරහැර පැවැත්වීම සඳහා දළදා මාලිගාවට විදුලි බිලක් එවූ පළමු රජය මෙයයි.”

කිරිඇල්ල කියා සිටියේ පසුගිය වසර දෙකක කාලය තුළ විහාරස්ථානවලට විදුලිය ලබාදීමේ ගැටලුව මතු වූ බවයි. “මම මේ ප්‍රශ්නය මීට අවුරුදු එකහමාරකට කලින් සභාවට ඉදිරිපත් කරලා විදුලිබල ඇමැතිතුමාගෙන් ඇහුවා මේ ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුවට තියෙන වැඩපිළිවෙළ මොකක්ද කියලා. සෑම විහාරස්ථානයකටම සහ ආගමික ආයතනයකටම සූර්ය බලශක්තිය ලබාදීමට කටයුතු සම්පාදනය කරමින් පවතින නමුත් තමන් දුන් පොරොන්දුව පැහැර හැර ඇති බව අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *