විසඳුම් නොලැබුණොත් වර්ජනය ඉදිරියට

සිය ගැටලුවලට විසඳුම් නොලැබුණ හොත් වර්ජනය ඉදිරියට යන බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා පවසයි.

ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ හදිසි වැඩවර්ජනයක් දියත් කළේ, වැටුප් සහ උසස්වීම් ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමිනි.

ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා,

“කොළඹ ධාවනාගාර 5ක් තියෙන්නේ. කනිෂ් කනිෂ්ඨ රියදුරන් ඉන්නේ ධාවනාගාර 2ක. ඒ ධාවනාගාර දෙකේ තමයි මේ වර්ජනය ක්‍රියාත්මක වෙන්නේ. මේකට විසඳුමක් නොදුන්නොත් වර්ජනය ඉදිරියට යනවා. අනෙකුත් කණ්ඩායමුත් මේකට සම්බන්ධ වෙනවා.”

වර්ජනය හේතුවෙන් ඊයේ(12) පස්වරු 6 වනවිට දුම්රිය ගමන්වාර 120ක් පමණ අවලංගුවී ඇති බව දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය දියත් කළ දුම්රිය වැඩවර්ජනයෙන් මොරටුව කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අද ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවුණි.

ඔහු මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දෙන්නේ දුම්රිය තුළ  ඇතිවූ දැඩි මගී තදබදය හේතුවෙන් දුම්රිය වහලය මත ගමන් කිරීමේදීය.

එලෙස මහනුවර සිට කොළඹ බලා පැමිණි සීඝ්‍රගාමී දුම්රියේ වහලය මත පැමිණි තරුණයෙකු මෙලෙස  ඇදවැටී සිය අවසන් හුස්ම හෙලීමට සිදුවිය.

ඒ හොරපෙ දුම්රිය ස්ථානය ආසන්නයේදීය.

අනතුරින් මියගියේ දිනිත් ඉඳුවර පෙරේරා නමැති ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.

දිනිත් ඉඳුවර මොරටුව කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.

ඔහු සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු එම අභ්‍යාස විද්‍යාලයට ඇතුල්වී තිබුණේ පාඨමාලාවක් හැදැරීම සඳහාය.

දිනිත් සහෝදරියන් තිදෙනෙකුගේ පවුලේ එකම සහෝදරයාය.

වෘත්තීය සංගම් හදිසියේ දියත් කරන මෙවැනි වර්ජනවලට එරෙහිව මගීන්ගෙන් එල්ල වූයේ දැඩි දෝෂාරෝපණයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *