විශේෂඥ වෛද්‍යවරයෙකුට දැඩිලෙස අවවාද

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයක් තුළදී හෙදියකට ශල්‍ය උපකරණයකින් පහරදී තුවාල සිදු කිරීමේ චෝදනාවකට ලක්ව සිටි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුට දැඩි ලෙස අවවාද කර මුදා හැරීමට කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා නියම කළේය.

මීට වසර දෙකකට පමණ ඉහතදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයක් තුළ රෝගියෙකුට සැත්කමක් කරමින් සිටියදී නියමිත වේලාවට අස්ථි කපන විදුලි කියතක් ලබා නොදුන්නායැයි කෝපයට පත්ව විත්තිකාර වෛද්‍යවරයා එම ශල්‍ය උපකරණයෙන්ම ශල්‍යකර්මයට සහාය වෙමින් සිටි හෙදියකට පහරදී ඇගේ හිසට තුවාල සිදුකළ බවට විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.

එම නඩුව දීර්ඝ නඩු විභාගයක් ලෙස අඛණ්ඩව විභාගයට ⁣ගෙන අද දිනයේදී එහි තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එහිදී විත්තිකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය පෙන්වා දුන්නේ එම සැත්කම සිදුකරන අතරවාරයේදී ඊට සහාය වෙමින් සිටි හෙද නිලධාරිනිය සැත්කමට අවශ්‍ය සහාය කාර්යක්ෂමව ලබානොදීම හේතුවෙන් එම අවස්ථාවේදී හටගත් ක්ෂණික කෝපයක් මත තම සේවාදායකයා ශල්‍ය උපකරණයකින් ඇයට පහරක් එල්ල කර තිබූ බවය.

ඉන් ඇයගේ හිසට සීරිම් තුවාලයක් මිසක බරපතළ තුවාල සිදුනොවූ බවද සිතාමතා සිදු නොකරන ලද එම වරද පිළිගෙන සමථයකට පත්කර ගැනීමේ අරමුණින් තම සේවාදායකයා ඊට වන්දියක් ගෙවීමට සූදානම් වුවද හෙද සංගම්වල තීරණයකට අනුව ඇය ඊට එකඟ නොවූ බවද නීතීඥවරිය සඳහන් කළාය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ විශේෂඥ වෛද්‍යවරයෙකුට නොගැලපෙන අයුරින් විත්තිකරු ක්‍රියා කර ඇති බවය.

ශල්‍යකර්මයක් කිසි විටෙකත් කෝපය සහිතව සිදුකළ නොහැකි බව පෙන්වා දුන් ඒ මහතා යම් හෙයකින් එම සැත්කම් උපකරණය වැදී බරපතළ තුවාල සිදු වූවානම් තත්ත්වය මීට වඩා බොහෝ වෙනස් වන්නට ඉඩ තිබූ බවද පැවසීය.

මින් ඉදිරියට මේ ආකාරයට නොසැලකිලිමත් ලෙස හැසිරෙමින් රාජකාරී කටයුතු ඉටු නොකරන ලෙස මෙහිදී විත්තිකාර විශේෂඥ වෛද්‍යවරයාට දැඩි ලෙස අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා එල්ල කර තිබූ සියලුම චෝදනාවලින් ඔහු මුදා හැරීමට නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *