දිවයිනේ පළාත් රැසකට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම් තවදුරටත් පහළ යමින් පවතී.
එවන් පසුබිමක සමනළ වැවේ ජලය ගොවි බිම් වෙත නිකුත් කළහොත් දිස්ත්‍රික්ක පහක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අනතුරු අඟවයි.
එහෙත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ ගොවීන් වෙත ජලය නිකුත් නොකළහොත් ආහාර අර්බුදයක් නිර්මාණය විය හැකි බවය.
දිවයිනේ ප්‍රදේශ රැසකට මේ වන විට පවතින්නේ වියළි කාලගුණ තත්ත්වයකි.
ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ උතුර , උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලටය.
මෙම කලාපයේ වැසි ජලයෙන් පෝෂණය වන වැව් හයදහසක් පමණ මේ වනවිට සිඳී ගොස් ඇතැයි වාර්තා වේ.
අනුරාධපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ආදී දිස්ත්‍රික්කවල විශාල වැව් රැසක ජල මට්ටම්ද මේ වනවිට පවතින්නේ පහළ මට්ටමකය.
මේ තත්ත්වය දැනටමත් වගා කටයුතුවලට අහිතකර ලෙස බලපාමින් තිබේ.
බරපතළම තත්ත්වය වන්නේ මේ වාතාවරණය ඉදිරියේදී ජල විදුලි නිෂ්පාදනයටත් අහිතකර ලෙස බලපානු ඇති බවට කෙරෙන අනතුරු ඇඟවීයම.
ගෙවුණු පැය 24 තුළ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වී තිබුණේ පොළොන්නරුව සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලිනි.
එම අගය සෙල්සියස් අංශක 38.1 කි.
මේ අධික උෂ්ණත්වය සහ වියැළි කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ කුඩා හා මධ්‍ය පරිමාණ වැව් බොහෝමයක් බලපෑමට ලක්ව තිබේ.
මේ අනුව ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
උතුරු හා නැගෙනහිර පළාත්වලට මෙන්ම සබරගමු පළාතටත් මේ තත්ත්වය බලපා තිබේ.
එහි ප්‍රධාන ජලාශයක් වන උඩවලව ජලාශයයි.
උඩවලව ජලාශයෙන් වලව මහවැලි බල ප්‍රදේශයේ ගොවීන් සඳහා ජලය නිකුත් කෙරෙන අතර එහි ජල මට්ටම පහළ බැසීමෙන් ඒ යටතේ වගාකර ඇති කුඹුරු අක්කර පනස් දහසකට වැඩි ප්‍රමාණයකට ජලය සපයා ගැනීම ගැටලුවක් බවට පත් වී තිබේ.
එම ප්‍රදේශයේ ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ උඩවලව ජලාශයට ඉහළින් පිහිටි සමනල වැවෙන් ජලය නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසය.
එහෙත් ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය අනතුරු අඟවන්නේ සමනල වැවේ ජලය උඩවලව ජලාශයට නිකුත් කළහොත් දකුණු පළාත තුළ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවටය.
මේ අතරවාරයේ සමනල වැවේ ජලය සිය ගොවිතැන් සඳහා නිකුත් කරන්නැයි බලකරමින් වලවේ ගොවීන් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට පියවර ගත්තේය.
එය අද ක්‍රියාත්මක වුණේ 8 වන දිනටය.
මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාද පැවසුවේ විදුලි සැපයුම ගැන නොසලකා ගොවීන් වෙත ජලය නිකුත් කිරීම සඳහා බලධාරීන් තීරණයක් ගත යුතු බවය.