විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

සමගි ජන බලවේගය විසින් පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

සමගි ජන බලවේගය සඳහන් කළේ මෙම පෙත්සම SC/SD/31/2026 යන නඩු අංකය යටතේ ගොනු කර ඇති බවයි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පෙත්සම්කරු ලෙස නම් කර ඇති අතර, නීතිපතිවරයා වගඋත්තරකරු ලෙස නම් කර තිබේ.

යෝජිත සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර ඇත.

සමගි ජන බලවේගය සඳහන් කළේ සංශෝධනයේ අන්තර්ගත විධිවිධාන සම්බන්ධයෙන් තම පක්ෂය අවධානය යොමු කර ඇති අතර, එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ තීරණයක් ලබාගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළ බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ඕනෑම සංශෝධනයක් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, බලතල වෙන් කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් කෙරෙහි ඇති විය හැකි බලපෑම සැලකිල්ලට ගනිමින් ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු බවද එම පක්ෂය පැවසීය.

දැනට සේවයේ නිරත විනිසුරුවරුන්ගේ ධුර කාලය වෙනස් කිරීම මගින් අධිකරණයේ ස්වාධීනත්වයට, බලතල වෙන් කිරීමට සහ ජනතාවගේ ස්වෛරීභාවයට බලපෑම් එල්ල වන බව මද්දුම බණ්ඩාර මහතා සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සමඟ නොගැළපෙන බවත්, එම සංශෝධනය නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර අනුමැතියක් මෙන්ම ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියද අවශ්‍ය බවත් තීරණය කරන ලෙස පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *