විදේශ රැකියා සඳහා යන අයට ෆයිසර් එන්නත

වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලුදෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මේ වන විට රටවල් පහළොවකට පමණ රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ ලාංකික ශ්‍රමිකයන් 8000කට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා  කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයේ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා එම අදහස් පළ කර තිබේ.

ඒ අනුව ඩුබායි, බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදිඅරාබිය, සීෂෙල්ස්, සිංගප්පූරුව, දකුණුකොරියාව, මාලදිවයින, මැලේසියාව,ඊශ්‍රායලය, සයිප්‍රස් යන රටවලට එම ශ්‍රමිකයන් රැකියා සඳහා යාමට නියමිතය.

එම රටවල් පිළිගන්නා කොවිඩ් මර්දන එන්නත වන්නේ ෆයිසර් එන්නත බැවින් එම ෆයිසර් එන්නත එම විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිත සියලුදෙනා ට ලබාදීමට කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් මෙහි දී සිය එකඟ පළ කළේය.

ඒ අනුව ඉදිරි සතියේ දී කොළඹ මධ්‍යස්ථානයක දී එම සියලුමදෙනා ට එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමටත් නියමිත පරිදි දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දී ඔවුන්ට ඉදිරි මාස දෙකක් ඇතුළතදී විදේශගත වීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට මෙහි දී අවධානය යොමුව ඇත.

එසේම එම විදේශ රැකියා සඳහා යාමට රැකියා අවස්ථා ලැබ සිටින බොහෝ දෙනෙකු වයස අවුරුදු 30ට අඩු තරුණ තරුණියන්  නිසා ඒ පිළිබඳව විශේෂයෙන් සලකා බලා ඔවුන්ට එම එන්නත ලබා දීමට මෙහි දී සාකච්ඡා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *