වෛද්‍යවරුන්ගේ හිඟය ඉදිරියටත් පැවතුණහොත් විදේශීය වෛද්‍යවරු මෙරට සේවයට ගෙන ඒමට සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසයි.
විශේෂඥ වෛද්‍යවරුන් රට හැරයාමෙන් රෝහල් මුහුණ පා ඇති අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය අශෝක ගුණරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.
වෛද්‍යවරුන් රට හැර යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රජය විසින් පනවා ඇති දැඩි බදු ප්‍රතිපත්ති සහ රටේ පවතින අස්ථාවරභාවය බවද වෛද්‍යවරයා එහිදී අවධාරණය කළේය.
“විශාල පිරිසක් රට හැර යන්නේ නිල නිවාස හෝ එවැනි දෙයක් හින්දා නොවේ. වැඩි හරියක් රට හැර යන්නේ මේ තියන දැඩි බදු සහ රටේ තියන අස්ථාවරභාවය නිසා. වෛද්‍යවරු අඩු වෙන්න අඩු වෙන්න අපිට වෙනවා නැවතත් දාන්න ඒ කියන්නේ දෙන්නෙක් හිටිය තැනකට එක්කෙනෙක් දාන්න. තුන්දෙනෙක් හිටිය තැනකට දෙන්නෙක් දාන්න. මේ තත්ත්වය දිගටම පැවතුණොත් මේක සංකෝචනය කරනවා හැර වෙන විකල්පයක් නෑ. එහෙම නැතිනම් අපි පිටරටින් වෛද්‍යවරු ගෙන්න ඕනේ සේවය සඳහා.”
මේ අතර හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලේ සේවය කළ එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා රට හැරයාමෙන් රෝහල මුහුණ පා ඇති අර්බුදයට කඩිනම් විසඳුම් සපයන්නැයි සෞඛ්‍ය වෘත්තිය සංගම් ඉල්ලීමක් කරයි.
සමස්ත ලංකා හෙද සංගමයේ හම්බන්තොට රෝහල් ශාඛාවේ සභාපති උජිත් පත්මේන්ද්‍ර,
“මේ වනවිට ශල්‍යකර්ම සිදුකිරීම සහ දැඩිසත්කාර ඒකකය පවත්වාගෙන යාම දැඩි අභියෝගයකට ලක් වෙලා තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල කියන්නේ ප්‍රදේශ ගණනාවක රෝගීන් රැසකට සේවය සපයන ආයතනයක්. අමාත්‍යාංශයට කියන්නේ වහාම මැදිහත් වෙලා මේ ප්‍රශ්නෙට කඩිනම් විසඳුමක් දෙන්න.”