විදෙස් රටවල සිට මෙරට බැංකු ගිණුම් වෙත නීතිවිරෝධී ලෙස මුදල් බැර කිරීමක්

විදෙස් රටවල සිට මෙරට බැංකු ගිණුම් වෙත නීතිවිරෝධී ලෙස මුදල් බැර කිරීමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පුද්ගලයා ඩුබායි බලා යාමට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

රුපියල් මිලියන 86ක මුදලක් සැකකරුගේ ගිණුමට බැරවීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි ත්‍රිකුණාමලය, පාවනාසකුලම් කින්නියා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙසේය,

“පසුගිය 2020 මුල් කාර්තුවේ මුල් මාසවලදී  ඇමෙරිකාවේ සිට පුද්ගලික බැංකුවක් වෙත රුපියල් මිලියන1,440 මුදලක් විවිධ පුද්ගලයින් වෙත එවා තිබෙනවා. ඒ එවා තිබෙන්නේ ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලංකික සම්භවයක් සහිත පද්ගලයෙකු විසින් බවට වාර්තා වෙනවා. ඔවුන් ඇමෙරිකාවේ සිටින පුද්ගලයින්ගේ ගිණුම් වෙත අන්තර්ජාලය හරහා ඇතුළු වී එම ගිණුම්වලින් ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයින්ගේ ගිණුම්වලට මුදල් ඉලෙක්ට්‍රොනික වශයෙන් මාරු කිරීමක් සිදුකරනවා. එම මුදල් ලබාගනු ලබන ශ්‍රී ලංකාවේ පුද්ගලයින්, ශ්‍රී ලංකාවෙන් යවන මුදල් ලෙස ඔවුන්ට එම මුදල් නැවත යවනවා. ශ්‍රී ලංකාවේ ගිණුම් හිමි පුද්ගලයාටද විශාල ප්‍රමාණයක් ලැබෙනවා. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *