විදුලි බල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති ගාස්තු සංශෝධන ඇතුළු විදුලි පාරිභෝගික යෝජනා එළඹෙන ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පවසයි.
පළාත් මට්ටමෙන් ආරම්භ කළ මහජන මත විමසීම් සියල්ල සලකා බලා එවා සමාලෝචනය කිරීමෙන් අනතුරුව තම වාර්තාව නිකුත් කරන බවද අධ්‍යක්ෂ ජනරාල් වරයා වැඩිදුරටත් පැවසුවේය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති මධ්‍යම පළාත් විදුලි පාරිභෝගිකයන් ඇතුළු පාර්ශව කරුවන්ගේ අදහස් විමසීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
පාර්ශව කරුවන් 60 දෙනෙක් විදුලි ගාස්තු සංශෝධනයේදී අවධානයට යොමු විය යුතු කරුණු සම්බන්ධයෙන්ද එහිදි විවිධ අදහස් ඉදිරිපත් කළේය.
විදුලි බල මණ්ඩලය මගින් 2025 ජනවාරි මාසයේ සිට සංශෝධනය කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයන් ගැන 2024 දෙසැම්බර් 06 වැනි දින ඔවුන්ගේ පාර්ශවකරුවන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට කරුණු දැක්වූ අතර ඊට අදාළ යෝජනා සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු විදුලි පාරිභෝගිකයන් දක්වන අදහස් විමසා බැලීම මහජන උපයෝගීතා කොමිසම මගින් ආරම්භ කළේය.
ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීම දෙසැම්බර් මස 10 වැනි දින කොළඹින් ආරම්භ කෙරුණ අතර පළාත් මට්ටමෙන් මහජන අදහස් ලබා ගැනීමේ පළමු වැඩසටහන මහනුවරදී පැවැත්විණි.