වැව් හා ජලාශ 699 න් 415 ක් වාන් දැමීමේ අවදානමක

වවුනියාව දිස්ත්‍රික්කයට දැනට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්කයේ වැව් සහ ජලාශ 699 න් 415 ක්ම වාන් දමයි.

දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්ධන්ද්‍ර මහතා පැවසුවේ, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් පාවක්කුලම් ජලාශය ඇතුළු තවත් වැව් කිහිපයක් සහ සුළු වාරිමාර්ග ඇළ මාර්ග ඊයේ උදෑසන සිට පිටාර ගලමින් පවතින බවයි.

වැව් 400ක්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති සුළු වාරිමාර්ග 11ක්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රධාන ජලාශ හතරක් වාන් දමමින් පවතින බව ඔහු පැවසීය.

දිස්ත්‍රික්කයේ ජන ජීවිතය අඩාල වී ඇති අතර මහ කන්නයේ වී වගාව ද විනාශ වී ඇති බව ඔහු පැවසීය.

කාසල්රී සහ විමලසුරේන්ද්‍ර ජලවිදුලි ජලාශ ඊයේ පෙරවරුවේ සිට වාන් දමයි.

කාසල්රී ජලාශය වසර තුනකට පසු ප්‍රථම වරට වාන් දැමූ බව ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ. වාන් ජලය මුදා හැරීම සඳහා ජලාශයේ දොරටු 13ක් අඩි දෙකහමාරකින් විවෘත කර ඇති බව ඔවුහු පවසති. මෙම ජලාශ දෙකෙන් අතිරික්ත ජලය මුදා හැරීම හේතුවෙන් කැළණි ගඟ ඉදිමී ඇති බව ඉංජිනේරුවරු පෙන්වා දුන්හ.

ප්‍රධාන ජලවිදුලි ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන් දැමීමත් සමඟ ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු හතරක් විවෘත කළ බව එහි භාර ඉංජිනේරුවන් ප්‍රකාශ කළේය.

කොත්මලේ ගාමිණී දිසානායක ජලාශය භාර ඉංජිනේරු ආර්.එම්.එස්. ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටුවක් ඊයේ පෙරවරුවේ විවෘත කළ අතර කොත්මලේ ඔය හරහා මහවැලි ගඟට ජලය ඝන මීටර් 69.6ක් මුදා හැරෙමින් පවතින බව වත්සලා මහත්මිය පැවසුවාය.

නුගවෙල, ගං ඉවුර, මාවතුර, උලපනේ, ගම්පොළ, වැලිගල්ල, වැලිඔය, පේරාදෙණිය, කටුගස්තොට, පොල්ගොල්ල ඇතුළු ජලාශවල සහ ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින ජනතාවට කොත්මලේ ඔය සහ මහවැලි ගඟ භාවිත කිරීමෙන් වළකින ලෙස ඔහු අනතුරු ඇඟවීය.

කලාඔය ජලාශයේ අතිරික්ත ජලය තත්පරයට වර්ග අඩි 3000 ක වේගයෙන් කලාඔය ගඟට මුදා හැරීම සඳහා ඊයේ දින කලාඔය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරුණා. මේ හේතුවෙන් කලාවැව අවුකන මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති අතර ගංවතුර තර්ජනයක් ද මතුව තිබුණා.

මේ අතර, නාය යෑමේ අවදානම සැලකිල්ලට ගෙන ඌව පරණගම වසමේ ගලහගම ප්‍රදේශයේ පවුල් දාහතරක් බදාදා (22) රාත්‍රියේ ඉවත් කර ආරක්ෂිත ස්ථානවල නවාතැන් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *